Thursday, May 28, 2015

හෙලුවෙන් වැනීම සහ තැටිය රත් වූ වෙලාවේ රොටි පිලිස්සීම. (18+)





අපි අපි ගැනම ලැජ්ජා විය යුතුය. වාසු සීයා උත්තරීතර පාර්ලිමේන්තුව තුල හෙලුවෙන් වනද්දී අපි කලේ උන්දෑට බැන අඬගහන එකය. පර සුද්දාගේ බස්වහර කරපින්නාගෙන බටහිරට ඔජෝ වඩන කරුමය හේතුවෙන් අපිට ඒ සත්ක්‍රියාවේ වැදගත්කම වැටහුනේ නැතුවා වෙන්නට ඇත. ඉතින් අපි දිගට හරහට අර අසරණ වයසක මනුස්සයාට බැන වැදුනෙමු ය.


හැමෝම බනින්නට පටන් ගත් වනම වාසු සීයා කලබල උනා. කොහොමත් උන්දෑගේ වයසට එහෙම කලබල වීම ස්වාභාවිකය. ඉතින් මාද්දිය සාකච්චාවේදී වාසු සීයා රටටම ඇහෙන්න කිවුවේ තමාගේ කටින් පිටවුනේ කුණුහරුපයක් බවය.


එමතුද නොව ඒ වචනය තමා හිතා මතා නොකිවු බවත්, කේන්තිය නිසාම වැරදීමකින් කටින් පිටවූ බවත් පවසන්නට තරමටම ඒ අසරණ මනුස්සයා හොල්මන්ද කොලමැල්ලුම් වී තිබුනේය.


සාමාන්‍යයෙන් ඔවැනි සිදුවීමක් අවසන අපිට අසන්නට ලැබේයැයි අනුමාන කල හැකි ප්‍රකාශයන් මේ වගේය.


අප්පච්චි

බුද්ධං සරණං ගච්ඡාමී… ඕවා පළිගන්න කරන කැසකැවීම් අපේ හාමුදුරුවනේ. අසරණ වාසු සහෝදරයගෙන් පළිගන්න එපා! (එපා යන්නෙහි “පා”යන්න මහාප්‍රාණව තරමක් ගැඹුරින් ඇද පැද කියයි.) මගෙත් එක්ක බේරගන්න. මගෙත් එක්ක. ධම්මං සරණං ගච්ඡාමී…. සංඝං සරණං………


විමලසේන

පෞද්ගලික ආයතනවල සේවකයන්ට මේ ආණ්ඩුව නිසා බෝනසුත් නෑ.  ජාත්‍යන්තර කුමන්ත්‍රණ අපේ රට ගිල ගන්න කැස කවනවා. වාසු සහෝදරයා අභීතව නැගී හිටියේ ඒ බලවේග වලට එරෙහිව. ජාත්‍යන්තර කුමන්ත්‍රණ, ඩයස්පෝරාව, බළල් අත්, අප්පච්චිට ජයවේවා!


ගොම්මන්පිල

 මොකක්ද ප#යා කියන්නෙ? මම මීට කලින් එහෙම එකක් අහලත් නෑනෙ. වාසු කට අරිනකොට ඕක වෙන කවුරුහරි කියන්න ඇති.


රනිල්

අපි මේකට සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එළඹෙන්න මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. කොහොමටත් වාසු කියන්නේ… (ඩික්ෂනරිය පෙරලමින් “ඩ්‍රයි පම්ප්කින්” යන්නෙහි සිංහල තේරුම සොයයි.) අහ්, වාසු කියන්නේ “වේළිච්ච වට්ටක්කා ගෙඩියක්.”


සමන්මලී සකලසූරිය

වාසු අංකල් කිවුවේ ඒ ප# නෙමෙයි වෙන ප#ක්. ඔයගොල්ලන්ට වැරදිලා. දැන් බලන්න නිරුවතටම අර්ථ කීයක්නම් තියෙනවද?


නානසාදු

මොන ප#යද යකෝ අපේ අගමැති තුමාට ප#යා කිවුවේ! ඕකගෙ අම්මට හු###! බෙල්ලෙන් අල්ලලා එලියට ඇදල දාන්ඩනෙ තියෙන්නෙ හු### පුතාව!


ටොයියෝ

වාසු ප#යා පන්නමු. ලේ කකියනව යකෝ. යහපාලනේ නොතිබුනානම් තොපිව මරාගෙන මැරෙනවා යකෝ.


බයියෝ

උඹල අපේ සිංහල කොඩිය උස්සද්දි බාල්දි පෙරලුව  දැන් තොපි කියන්නෙ වාසු මහත්තයට සිංහල වචනයක් කතා කරන්නත් බෑ කියලද? මේක සිංහල රට යකෝ. මරාගෙන මැරෙනවා යකෝ.



* අප්පච්චිගෙ ලොකුපුතා

වාසු අංකල් කිව්වෙ කුහුහබ්බයක් නෙවේ අපේ හාමුදුරුවනේ. ඒකෙ තේරුම බන්දුල අංකල් කියල දුන්නෙ. පලිගන්නව නං මගෙනුයි තාත්තගෙනුයි පලිගන්න. අපේ අම්මගෙන් පලිගන්න එපා කියන්න හාමුදුරුවනේ......


* රවි කරුණානායක

අපි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ මිනිස්සුන්ගෙ අතට සල්ලි ලැබෙන ක්‍රමයක් හදනකොට මේ ප##ට.......


* සජිත්

මගේ පියා දිංවගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා නිවාස පනස් ලක්ෂයක් හදපු කාලෙ ඔය ප%^&^......


* අස්ගිරි/මල්වතු/රාමඤ්ඤ නිකාය නායකයො

නරක වචන කියන එක හොඳ නෑ.... හැබැයි ඉතිං මේ වගේ වචනත් ඕන රට හදන්න.... කට්ටිය එක්ක එකතු වෙලා වැඩ කරල ර‍ට හදමු.... කෝ ගන්න ඔය පිරිකර මෙහාට.....


* හිරුනිකා

මගේ තාත්ත කොලොන්න‍ාවෙ කුඩු වලට විරුද්ධව සටන් කරනකොට අර ප^%$ වෙඩිතියල.......


* රිෂාඩ් බදියුදීන්

හු#යි ප#යි ඕන දෙයක් අපිට ඔට්ටුයි. ගහමු තව ගෙවල් ටිකක් විල්පත්තුවෙ.




අහෝ ඛේදයකි. ඉහතකී සියලුම ආතල් වලට තිත තබමින් පෙරේදා සිංහල මහාචාර්‍ය අති පණ්ඩිත බන්ධුල ගුණවර්ධන උතුමාණන් වාසුගේ වචනයේ ඇත්ත නැත්ත රටට අනාවරණය කලේය. ඉතින් අපි සියල්ලෝම, එකාවන්ව වාසු සීයාගෙන් සමාව ඉල්ලන අතර, ඔහුට හෙලුවෙන් වැනීමට ඇති දැනුම ගැන බොක්කෙන්ම ආඩම්බර වෙනවාය. 


එකී ගැටපද විවරණයෙන් පසු හෙළ බස් වහර වෙනස් වෙන ආකාරය ගැන මෙතැනින් බලාගන්නට පුලුවන්ය.


ඔව් ඉතින් තැටිය රත් වුන වෙලාවෙ රොටියක් පුච්ච ගන්න එක වරදක්යැ? ඇයි අවුල්ද?




ප.ලි.

තරු දැමූ (*) මාධ්‍ය ප්‍රකාශ, රාජ්ගේ කමෙන්ටුවකින් උපුටාගෙන පසුව එකතු කරන ලදී.



Wednesday, May 27, 2015

ඉරිදා පොහොට්ටු - 2






"මට ඉරිදා මලක් ඕනේ......!!"

එයා අත් දෙක මිටි කරගෙන බෑඟිරි තියනවා. ඒ සද්දෙට මුලු ගේම හෙල්ලෙන්ඩ ගත්තා. ලිප්බොක්කෙ නිදාගෙන උන්නු බල්ලා හිටන් බයේ නකුටෙන් කන්දෙක වහගත්තා.

"පොඩ්ඩක් ඉවසලා ඉන්නකො."

මං පරණ මුරුච්චි දෙකක් කන් දෙකේ ඔබා ගන්න ගමන් කිවුව. කොහොමත් එයාගෙ සද්දෙට කර්ණ පටහ පටලය තුවාල නොවී බේරගන්න නම් එක්කො මුරුච්චියක් ගහගන්න ඕන, නැත්තම් බොලොක්කයක් දෙකට කඩල කෑලි දෙක කන්දෙකේ ඔබා ගන්න ඕන.

ඉරිදා ඇට ටික මං තවාන් දාල තිබ්බෙ ලිප්බොක්ක පිටිපස්සෙ කට කැඩුන තාච්චියක. අළු දුඹුලු නොවැටෙන්න ඒක හොඳට මා දැලකින් එතුවෙ වැඩි පරෙස්සමට.

එයා බෑඟිරිය නවත්තන පාටක් පේන්න තිබුනෙ නෑ. කෝකටත් කියලා මං එයාව උස්සගෙන ඇවිත් බැල්කනිය කෙලවරේ ලොකු නිල්පාට බිම්මල උඩින් වාඩි කෙරෙව්වා. බිම් මලට පුලුවන් ශබ්ද තරංග වලින් හරියටම අටෙන් හතක් අවශෝසනය කරගන්න. රෑ වෙනකොට ඒ ශබ්ද තරංග වලින් බිම්මල ආලෝක තරංග නිපදවනවා. අද රෑ එලිවෙනකම් මට ලයිට් දාන්න ඕනෙ නැතිවෙයි. හවස හය වෙද්දි බිම්මල ගේ ඇතුලට ගෙනාවම හරි.

දැන් තියෙන්නෙ ඉරිදා මලක් හදාගන්න.

බල්ලා තාමත් නකුට කන්දෙකේ ඔබාගෙන. මං ඌව කෙලින් කරලා නැට්ටෙන් පරණ ඇතිලියක හරි මැද ලක්ෂයේ හිටෙව්වා. ඌ තරහෙන් නහය අකුලලා 'පුරුපුරු' කිවුවා.

ඊටපස්සෙ මං ඉරිදා ඇට ටික පරෙස්සමට ගලවලා අරගෙන එක මිටකට ගුලි කලා. වතුර බිංදු දාහතරක් දාලා පරෙස්සමට ඒක රවුමට හැඩ කර ගත්තා.

කැටපෝලෙ අරන් මං ඒ ඉරිදා ඇට පොදිය හරි ඉලක්කෙට බල්ලගෙ නාහෙ ඇතුලටම විද්දා.

ඊට හරියටම තත්පර තුන්කාලකට පස්සෙ බල්ලගෙ කන්දෙකෙන් හීන් ඉරිදා රිකිලි වැඩෙන්න පටන් ගත්තා. තප්පර තුනක් යද්දි ඒ හැම රිකිල්ලකම අගිස්සෙ කහපාට ඉරිදා පොහොට්ටු පිපෙන්න ගත්තා.

මං ඉක්මනටම ඒ ඉරිදා පොහොට්ටු ටික කඩලා තාච්චියක් උඩ සීරුවට අඩුක් කරගෙන එයාට ගිහින් දුන්නා.

අන්න ඊට පස්සෙ යාන්තම් එයාගෙ බෑඟිරිය නතර උනා. මං හෙමීට කන්දෙකේ ගහගත්තු මුරුච්චි දෙක ගැලෙවුවා.

අද නම් බිම්මලේ එලියෙන් රෑ කෑම කෑවැකි. මේ කරදරේ නිසා මට වෙච්චි එකම හොඳේ ලයිට් බිල අඩු උන එකයි.


~ මොළේ cRaCk උන පිස්සු බස්සි ~





Friday, May 22, 2015

මගෙ ලේ කකියනව යකෝ! – මරාගෙන මැරෙනවා යකෝ!!!





විත්‍යා මියගියාය. අපි කට තදකර වසාගෙන සිටියාය. ඇත්තෙන්ම එය එසේ විය යුතුය. ඈ දෙමලියක් ය. ඉගෙනගත්තේ පුන්කුඩුතිව් වලය. අපි නම් එහෙම ගමක් අහලාවත් නැතිය. සමහරවිට ලෝක ගෝලයේ උතුරු කෙළවරේ තියෙන නොසැලකිය හැකි තරම් කුඩා දූපතක් වෙන්න ඇති ය. ඉතින් අපිට පාන් ද?


ඒ මදිවාට උතුරේ උන් මැරුණාය කියන කෙල්ලට සාධාරණයක් ඉල්ලලා පාරට බැහැලාය. සැකකාරයන්ට ගහන්නත් ගිහින්ලුය. උසාවියේ වීදුරුත් කඩලා ය. මැරිච්ච ගෑනියෙක් වෙනුවෙන් පාරට බහින්න මේ දෙමෙල්ලුන්ට කොහෙන් ආ හයියක්ද? ස්ත්‍රී දූෂණයක් කලාය කියන්නේ අපේ ප්‍රෞඪ සංස්කෘතියට අනුව අගනා වික්‍රමාන්විත ක්‍රියාවක්ය. 


හරිනම් උන් නමදෙනාවම නිදහස් කල යුතුය. නිදහස් කිරීමෙන් නොනැවතී, උන් උසාවියෙන් එළියට බහින මොහොතේ බර මල් මාලා පළන්දා ජය ඝෝෂා පැවැත්විය යුතුය. උවමනා නම්, දකුණේ සාරුව සුනිල්ගේ අනුගාමිකයන් රැළ ‘සෙනග පෙන්නීම’ සඳහා කුළියට ගන්නත් පුලුවන්ය. එවිට උන්ටත් තම තමන්ගේ සියවෙනි ස්ත්‍රී දූෂණය මහ ඉහළින් සැමරීමටත්, ‘සාරුව ඉස්ටැයිල්’ එකට පාටි දැමීමටත් පට්ට මෝටිවේසොන් එකක් ලැබෙනු ඇත. අපේ බෞද්ධ රටේ සංස්කෘතිය රැකගත යුත්තේ එහෙමය. 


ඒ අව් අස්සේ අපේ ආතල් කුඩු කරන්න හිතාගෙන සම-හරක් කාළකණ්නි තැන තැන අමුතු ටෝක්ස් දෙන්න පටන් අරන්ය. උන් කියන්නේ මැරිච්ච එකා අපේ සහෝදරිය, දුව, නැත්තන් ගෑනි විදියට හිතන්න කියලාය. උන් කලවම් අපතයෝ බව ඒ අනුව බුදු සුවර්ය. උන්ගේ සහෝදරිය, දුව, ගෑනි, නැත්තන් අම්මා දෙමළ කතා කරනවා වෙන්න ඇතිය. හැබැයි අපේ නහරයක් නහරයක් ගානෙ දුවන්නේ සිංහ ලේ ය. අපි සිංහ වංශයේය. වංශය වෙනුවෙන් ලේ කකියනකොට කකුල් හතරෙන් යන්නට පවා අපිට බැරිකමක් නැතිය.


ආරංචියේ හැටියට ඕය සිද්ධිය ස්විස් ජාතිකයෙක් වීඩියෝ කරලාය. දැන් ඕකා ඒ වීඩියෝව ජාත්‍යන්තරයට ලීක් කරලා අපේ හමුදාව පටලවාවියැයි එක එකා සැක පහල කරනවාය. ඒ වීඩියෝවට වෙච්ච දේ හොයන්නැයි කියන අපේ අයියලාට මොළේ උණ හැදිලා වෙන්න ඕනෑය. දැන් චැනල් ෆෝ වීඩියෝවලින් අපිට කෙරුවද? ස්වාසිලන්තෙයි, ඉරානෙයි අපිත් එක්ක ඉන්නකම් අපි යකාටවත් බය නැතිය. හැබැයි ඔය වීඩියෝව ලීක් උනොත් ෆෝන් එකටවත් බාගෙන සේප් එකේ බලන්න ඕනෑය.


ඊයේ ‘අපේ’ රජතුමා ජාතිමාමක රතු ලේ ගොජ දැමෙන කතාවක් වැදෑරුවා ය. ඒතුමා කියන විදියට අසූ තුනේදිත් ඔය කාළකණ්නි ඔළුව ඉස්සුවේ ඔහොමමය. ආයෙනම් ඕකුන්ට ඔළුව උස්සන්න ඉඩ නොදිය යුතුය. ඒ කතාව අහපු වෙලාවේ ඉඳන් අපේ ජාති ආලය කකියනවාය. ඕකුන් එකා එකා බාවන්නම හිතෙනවාය. ඒ උනාට ඔපිස් එකෙන් නොමිලේ ලැබෙන ඉන්ටනෙට් එකෙන් අභීත අදහස් ප්‍රකාශ කරනවාට වඩා යාපනේට ගිහින් ඕකුන් කඩු ගෑම අමාරුය. අනික මේ දවස්වල යාපනේ පට්ට රස්නෙ ඇතිය. ඒ උනාට නිකම් ඉඳලත් බැරිය. 


පර දෙමළුන්ට පාඩමක් ඉගැන්විය යුතුමය. අල්ලපු කියුබිකල් එකේ ඉන්න යෝගනාදන්ට පෙත්සමක් ගහන්නත් හිතෙනවාය. යෝගා පර දෙමළා ගිය මාසෙ තඩි වෙස්ල් එකකුත් අරගෙන මටත් ඒකෙන් ලිෆ්ට් එකක් දුන්නාය. ඒ උනාට ඌට ගේම අදින්න ගිහින් මගේ වැඩ මාට්ටු උනොත් මට සිද්ද වෙන්නේ සජින් ද වාස් වගේ බුකවාගෙන පොළිස් කූඩුවේ ලගින්නය. බැසිල් වගේ මටත් බන්ධනාගාර හොස්පිටිතාලෙට යන්න බැරිදැයි ඇහුවොත් පොළෝසියෙන් පශ්චාත් භාගයට පයින් පාරක් වදින්නත් බැරි නැත.


අපේ ගෑනි උදේ කෑමට මේ ඔතල තියෙන්නෙ මොනවද! තව් මරපු කෙහෙල් කොළේ ඔතාපු තෝස දෙකක්, ඇලුමිනියම් කෑම පෙට්ටිය පිරෙන්නට සාම්බාරු සහ උළුඳු වඩයකි. යකෝ මේකිව මරන්න එපාය! මගේ සිංහල ලේ ආයෙමත් කකියනවාය. එහෙනම් ඕකි අලුතෙන් ඔපීසියට ආවයි කියපු උද්‍යශ්‍රීනිගෙන් රෙසිපි ඉල්ලගෙන ආවේ මේකට ය. අද හවසට දෙකක් දාගෙන ගෙදර ගිහින් ඕකිට නිල් වෙන්ඩ ගහන්න ඕනෑය. දැනට බුකියට ගොඩවී අලුත් ස්ටේටස් අප්ඩේට් එකක් දාන්ඩ ඕනෑය.


“මගෙ ලේ කකියනව යකෝ! – මරාගෙන මැරෙනවා යකෝ!!!”





Thursday, May 21, 2015

කවි ලොසින්ජර (බසු කවි පිටුව)



වාරණයක් නැතුව එක දිගටම කවි ලියන්න බස්සි කවි පිටුවක් හදාගත්තා. ඒකෙ පළ කරන්නෙ කවි විතරයි. මූණු පොතේ අතන මෙතන කුරුටු ගාන, බ්ලොග් කමෙන්ට් කොටු ඇතුලේ අතෑරල දාල යන කවිවලින් ටිකක් හරි එකතු කරල තියාගන්නයි බලාපොරොත්තුව.


නිවාඩුපාඩු වෙලාවට පොඩ්ඩක් ගොඩවෙලා යන්න එන්න කියල හැමෝටම ආරාධනා කරනවා එහෙනම්!






Tuesday, May 19, 2015

යුද්ධය ගැන මගේ මතක







“මම ඉස්සර හිතාගෙන හිටියෙ ඉස්කෝලෙන් අස් වුනාට පස්සෙ ආර්මි එකට බැඳෙන්න.” තාත්තා කියමින් උන්නා. “ඉන්ටවිව් ගියා. ඒ කාලෙ යුද්දෙ තිබුනෙ නෑ. ඉතින් හමුදාවට බැඳෙන්න අවශ්‍ය සුදුසුකම් හරියටම බැලුවා. මං ඒ කාලෙ කෙට්ටුයි. හොඳටම කෙට්ටුයි. ඉතින් මාව තෝරගත්තෙ නෑ.”


“හොඳ වෙලාවට.” නංගි එකපාරටම කිවුවා.

“ඇයි?” මම ඇහුව.

“එහෙම උනානම් අපිට මොකද වෙන්නෙ???”


අන්න ඒක තමයි කාලයක් අපේ හිත්වල රණවිරුවො ගැන තිබුනු ආකල්පය. හැමෝම එහෙම නොවෙන්න පුලුවන්. බොහෝවිට මේ පෝස්ටුවට පහළින් අභිමානවත් කමෙන්ටුවක් දාන්න සැරසෙන මහත්වරු සහ නෝනාවරු එහෙම නොවෙන්න පුලුවන්. ඒත්, ඒ කාලෙ, අපි කුඩා කාලෙ බහුතරයක් දෙනා හිතුවෙ එහෙමයි.



****************************************



ඒ දවස්වල නිතරම රූපවාහිනියෙ දැන්වීම් ගියා යුධ හමුදාවට, නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට බැඳෙන්න තරුණ ළමයින්ට ආරාධනා කරමින්. අපිට ඒවයෙ වචන කටපාඩම්. ඒත් කවදාවත් ඒ නිතර නිතර සජ්ජායනා වුන අභිප්‍රේරක දැන්වීම් අපිව හමුදාවට යොමු කරන්න උත්ප්‍රේරකයක් උනේ නැහැ. හැබැයි, අපිත් ඒවයේ ඉන්න හමුදා අයියලා වගේ කොටන් උඩින් පැන පැන ගියා. ලෝහ රවුම් වල එල්ලිලා බාහුවලට ව්‍යායාමත් කලා. ගස් උඩ නැගලා වටේටම ඔත්තු බැලුවා. උතුරෙන් වරු ගානක් දුරින් පිහිටි ක්‍රීඩා පිට්ටනියේ ඉඳන්. නිකම්ම නෙමෙයි, ඒ දැන්වීම්වල පසුබිම් වාදනයන් පවා මුමුණමින්.





දවසක් තාත්තා කොළඹ යන්න ලෑස්ති වෙමින් ඉන්නකොට කෝල් එකක් ආවා. "කොළොන්නාවේ තෙල් ටැංකි වලට බෝම්බ ගහලා" කියාගෙන තාත්තා ටී.වී. එක දැම්ම. කළුම කළු දුමාරයක් විතරයි පෙනුනෙ. හැමෝම කම්මුල්වල අත තියාගෙන ඉන්න අතරේ මම මාර විදියට සතුටු වුනා. 


කොළොන්නාව යනු කොළඹට සමානපදයක් බවත්, බෝම්බයක් යනු නාගසාකි පොතේ (ළමා කතාවක්.) කියවෙන විදියේ පරමාණු බෝම්බයක් බවත් අනුමාන කරපු මම, ආයෙම තාත්තට මුළු දවසක්ම මාව ගෙදර තනිකරලා ‘ලොකු ලොකු රාජකාරි’ වලට යන්නට කොළඹක් ඉතිරි වී නැති බව හිතමින් සතුටු වුනා. (සමාවන්න, මම එකල මොන්ටිසෝරි යන්නේවත් නැහැ!)




****************************************



තාත්තා කොළඹ ගිය දවසක ‘දැන් ඉන්නේ *** ශොප් එකෙන් එලියට එමින්’යැයි කියමින් දුරකථන ඇමතුමක් දුන්නා. ඊට විනාඩි පහළොවට-විස්සකට පසු මම ටී.වී. එක ඔන් කරනවාත් සමගම බෝම්බයක් පුපුරා විනාශ වී ගිය  *** ශොප් එක සහ ඒ අවට දසුන් පෙන්වමින් තිබුනා. මම වහාම තාත්තට කෝල් එකක් ගත්තා. ප්‍රතිචාරයක් නැහැ. මගේ හිස බමන්නට වුනා.


“මම එතැනින් පිටවෙලා තිබුනේ පිපුරුමට විනාඩි දොළහකට විතර කලින්.” පසුව ඇමතුමක් දුන් තාත්තා කිවුවා.






අපිත් එක්ක එකට දහම්පාසැලේ ඉගෙනගත්තු යාලුවෙක් හිටියා. එයා ඕ.ලෙවල් ෆේල් උනා කියලා ප්‍රතිඵල ආපු දවසෙ එයාගෙ තාත්තා එයාට ගහලා ගෙදර ලොකු රණ්ඩුවක් ඇතිකලා. පහුවදා එයා ගෙදරින් පැනල ගිහින් තිබුනා.


මාසෙකට විතර පස්සෙ ආරංචි වුනා එයා හමුදාවට  බැඳිලා බව. හැමෝම කම්මුලේ අත තියාගත්තා. තව පාරක් විභාගෙ කරන්න තිවුන ළමයගෙ ජීවිතේ විනාස කරගත්තු කාළකණ්නියා කියල ඒ තාත්තට බැන්න. ‘එකම පුතාව මරාගත්තා’ කියල කියපු අයත් හිටියා.


ඔන්න මට තව දෙයක් මතක් වෙනවා. එයා මට වඩා යන්තමක් උස ඇති. ඒ වගේම දශක තුනකට කලින් යුධ හමුදාවට ඇතුලත්වීමේ පරීක්ෂණයෙන් “පපුවේ සයිස් එක” මදි කියල ප්‍රතික්ෂේප වුන අපේ ‘එවකට කෙට්ටු’ තාත්තාටත් වඩා බොහෝම කෙසඟයි. සුදුමැලියි.



****************************************



ඉන් පස්සේ අපි උසස්පෙළ පන්තියට ගියා. සාහිත්‍ය හෝ රංග කලාව හදාරන්න ඕනෑ යයි මම ඇවිටිලි කලත්, ඒ නෑසූ කන්ව මාව ජීව විද්‍යා පන්තියට ඇතුලත් කෙරුණා. පණුවෙක්වවත් මරන්නට අකැමති සහ බෙහෙත් ගඳට ක්ලාන්ත වන සුළු මම ඉන් පසු ගෙදරට කීවේ, “හොඳයි. නමුත් මට උවමනා අණුක ජීව විද්‍යාව හදාරන්න.” යනුවෙනුයි.


විය යුතු පරිදිම අම්මා ඊට එකහෙලා විරුද්ධ වුනා. ඉතින්, මම මගේ නොවරදින, අවසාන තුරුම්පුව ඉදිරිපත් කලා.


“දොස්තරෙක් වෙන්න ඕනෑමයි ද? මම එක කොන්දේසියක් උඩ කැමති වෙන්නම්. දොස්තරෙක් වෙනවනම් මට ආමි ඩොක්ටර් කෙනෙක් වෙන්නම ඕනෙ. කැමතිද?”


ඉතින්, මට පහසුවෙන්ම “ඕනෑ මගුලක් කරගන්ඩ” අවසරය ලැබුනා. අණුක ජීව විද්‍යාවට පැනවූ සම්බාධක අවිවාදයෙන්ම ඉවත් කර ගැනුනා.



****************************************



‘අවදානම් සහිත සති අන්ත’ ගැන පාසැල් මිතුරෙකුගේ තාත්තා, ඔහු යුධ හමුදාවේ ඉහළ නිලයක් දරන්නෙක්, අපිට අනතුරු ඇඟවුවා. නුගේගොඩ අමතර පන්ති යාම අතහැර ඒ සති අන්තවල අපි ගෙදරට වී හිටියා. බොහෝවිට සති අන්ත නිවාඩුව හමාර වෙන්න කලියෙන් කොළඹ කොතැනක හෝ පිපුරුමක් සිදුව තිබුණා.


ඔව්. අපි බියසුල්ලන්ව සිටියා. අපි යුද්ධයට පුදුම විදියට බය වුනා. උසස් අධ්‍යාපනය ලබන්න බස් එකේ කොළඹ එනතුරු මම දැනගෙන උන්නේ කොළඹ අතුරු පාරවල් ගැනයි වැඩි වශයෙන්ම. අපි හැකි හැම අවස්ථාවේම ප්‍රධාන පාරවල් මගහැරියා, ඒ බයට.





බස් බෝම්බයකින් මැරුණු කුඩා දරුවෙකුගේ මුහුණත්, යුධ බිමේ මියගිය ළමා සොල්දාදුවෙකුගේ නිසල සිරුරත් හිතට ගේන්නේ එකම කම්පාවක් නොවෙයිද? 


එදා මෙදා තුර මම එකම එක මරණයක් වෙනුවෙන් සතුටු වුනා. ඒ ප්‍රභාකරන්ගේ මරණය. නමුත්, අහසට ඔරවාගෙන සිටින ඔහුගේ විශාල ඇස් දෙක දකින මම නැවත නැවතත් තැතිගැනුනා. ඒ ඇස් වල තිබුනු උමතු වියරුව ඉබේ නිර්මාණය වූවක් ද? 


අපේ හමුදාව ඒ මිලේච්ඡ ත්‍රස්තවාදී නායකයාව මරාදැම්මා. නිවාඩුවට කැනඩාවේ සිට ලංකාවට පැමිණි තාත්තාගේ යාලුවෝ දෙන්නෙක් එදා හවස අපේ ගෙදර ආවා. රෑ වන තුරු යුධ ජයග්‍රහණය සැමරුවා. ඇපල් ජූස් බෝතලයක් වග විභාගයකින් තොරවම කටට හලාගත් නංගි, එහි වූ සැර බීමකට උගුර පිළිස්සුන බව කියමින් අඬන්නත්, වමනය කරන්නත් ගත්තා.


“මචං දැන් අපිට බය සැක නැතුව ලංකාවට ඇවිත් පදිංචි වෙන්න පුලුවන්”. ඊට සති කිහිපයකට පසු තාත්තා හමුවෙන්නට ආ නොරටක පදිංචි මිතුරෙක් කියනවා මට ඇහුනා. “මෙහෙ වැඩ ටික සෙට්ල් කරගෙන අපි පව්ල පිටින් ඇවිත් පදිංචි වෙනවා මචං, අනිවා” ඔහු නැවත නැවතත් කිවුවා. මීට දෙමසකට පෙර, තාත්තාගේ මලගෙදරට සහභාගි වෙන්නට නොහැකි වුන බව කියා කණගාටුව පළ කරමින් ඔහුගෙන් දුරකතන ඇමතුමක් ලැබුනා, නොරට සිට!





Friday, May 15, 2015

මාධවී කියන්නෙ මම විතරමද?






මාධවී ඔබටත් ඇහෙනවද?
සංගීත සාදයෙහි සල්ලාල වස්දඬුව,
ඔබේ නම නැවත නැවතත් ගයන.
මුල් ස්වරය ගැඹුරෙන්ද, අවසන් ස්වරය මෘදුවද ,
මා ඔබේ නම උසුරුවන විදියටම.


නිල් කෙහෙ කැරලිවල සුවඳද,
මල් හිනාවක කිකිණි ස්වරයද,
දුල් දෙනෙත් විලෙහි ගැඹුරද,
මං මිසක් වෙන කවුරුවත් දැන ගත්තෙ කොහොමද?


මං හිතන්නෙ මාධවී,
අපේ ආදර කතා අහගෙන,
හොරෙන් බල බල ලත වෙවී උන් ගඟ දිය,
රහස් සේරම කියන්නැති බට පඳුරු ගොන්නට.
මුල් ස්වරය ගැඹුරෙන්ද - අවසන් ස්වරය මෘදුවද ,
මා ඔබේ නම උසුරුවන විදියටම රසකර.


දැන් තරුණ වස්දඬුවකිය ඒ බට පඳුර.
නොකිව්වට මම, දන්නවනෙ අපි මහළු බව.
එයාටත් ඇහේවිද?
අපිම විතරක් දන්න – ඒ සොඳුරු පෙම් පුවත.
ගඟ දියෙහි වාචාල කේලම්,
කැදැල්ලට ගිනි අවුළුවාවිද?



ඔයානම් ඉස්සර වගේමයි සුමේධ,
මාධවී කියන්නේ මම විතරමද?
ඇරත් ඔහු මා අමතන්නෙ
සේරෝම ස්වර එකම විදියට රළුව,
රිද්මයක් තියා තෙතමනයක්වත් නැතුව,
මං අහන්නේ සුමේධ,
මාධවී කියන්නෙ මට විතරමද?



Monday, May 11, 2015

ටාරා (බසු ගීත)




වැඩ අධික දවස්! ඔපීසියෙ වැඩවලින් කරවෙලා තියෙන මොළේ ටිකක් නිවා ගන්න ගොඩවදින බස්සිගේ නවාතැන දිහාවත් බලන්න බැරිතරම් වැඩ ගොඩගැහෙන එක ඇත්තෙන්ම අවාසනාවක්. ඇරත් ෆේස්බුකේවත් කවියක් කුරුටු ගාන්න බැරි තරමට මනස අවිවේකී වෙන එක?


හැබැයි නිකම්ම හිටියේ නැහැ. යාලුවො දෙන්නෙක්ගෙන්ම ඉල්ලීම් ලැබුනා සිංදු වගයක් ලියල දෙන්න කියල. දෙන්නම බ්ලොග් ලියන්නෝ.

 
එක්කෙනෙක් අපේ මනා. මනාගේ පින්තාරුව බ්ලොග් අඩවිය කොහොමත් මියුසික් වලටම වෙන්වුන බ්ලොග් අඩවියක් විදියට ගොඩක් බ්ලොග්කරුවන් අතරේ ප්‍රසිද්ධයි. මනා මේ වෙද්දි මාතලන්ගේ, දිලාගේ, ඔමාගේ, ඉවාන්ගේ සහ අටම්ගේ පද රචනා වලට ගීත නිර්මාණය කරල තියෙනවා. ඒව මනාගේ බ්ලොග් අඩවියෙන් සහ මනාගේ යූ ටියුබ් චැනල් එක හරහා රසවිඳින්න පුලුවන්.


මනාගෙන් කාලෙක ඉඳන් ඉල්ලීමක් තිවුනා සින්දු හතරක් ලියා දෙන්න කියල. ඇත්තටම මම මුලින් හිතාගෙන හිටියේ සින්දු ලියන එක බොහොම ලේසි වැඩක් හැටියටයි. ඒත් කවි වගේ ලේසියෙන් සින්දු ලියන්න බැරි බව පළවෙනි උත්සහයෙන්ම මට තේරුනා.

 
මනා වෙනුවෙන් සින්දු හතරක් මම තවමත් ලියමින් පවතිනවා.

 
අනිත් එක්කෙනා බ්ලොගරෙක් වගේම මගේ හොඳම යාලුවා සහන්. සහන්ගේ සිංදු කාලාකාශය බ්ලොග් අඩවිය හරහා රසවිඳින්න පුලුවනි. එතන තියෙන්නේ ගීත පමණක් නෙමෙයි. විවිධ දිශානතීන්ට යොමු වුන කලා හැකියාවන් ගොන්නක එකතුවක්. ඔහු කාව්‍ය නිර්මාණය, කෙටිකතා, පරිඝණක චිත්‍ර නිර්මාණය, සිතුවම් ඇඳීම විතරක් නොවේ ගායනයට සහ වාදනයටද සමතෙක්.

 
ඒත් අවාසනාවකට ඔහුගේ හැකියාවන් අඳුනාගත්තු අය ගොඩාක් අඩුයි. ඒක ඇත්තටම කනගාටුවට කරුණක්.


සහන් ඉල්ලාපු සින්දුව ලියන්න මට කලින්ටත් වඩා අමාරු වුනේ ඒකට අදාල මෙලඩිය කලින් සකස් කල එකක් වීම නිසයි. ඇත්තටම හින්දි සිංදු වලට සිංහල වචන යොදපු අපේ පැරණි ගීත රචකයන්ව කොයිතරම් අගය කරන්න ඕනෙද! 


ඒ වුනාට එහෙම ලේසියෙන් පරදින්න බෑ නෙව. බස්සි දත්මිටි කාගෙන ලිවුවා සින්දුවක්. අහලාම බලන්නකෝ.





ටාරා
____

සියවස් ගණන් සීත කාලේ
හද ගැඹුරේ හැඟුමන් මිදෙනා අතරේ
අඟනක් ඉඟි පෑව ආලේ
විශ තැවරූ මායාවී අඳුරේ
වේදනා දේ ආදරේ
සුසුම් සිරවේ සැමරුම් මියැදේ අඳුරේ

එන්න ආදර ටාරා
ගිලී සඳවතේ උණුහුමේ
ඉන්න සිහිනෙක මා හා
අතිනත පටලා දෑසේ මායිමේ

එන්න ආදර ටාරා
අලුත් පිටුවක් ලියැවේ දෝ
සඳකැන් ගලනා යාමයේ

 
දහසක් මතක පාවි පාවී
අඩ අඳුරේ නෙත්යුග තෙමෙනා අතරේ
සඳකැන් හද ගෑවි ගෑවී
ඉදි කරවූ සෙනේහේ මැදුරේ

එන්න ආදර ටාරා
ගිලී සඳවතේ උණුහුමේ
ඉන්න සිහිනෙක මා හා
අතිනත පටලා දෑසේ මායිමේ

එන්න ආදර ටාරා
අලුත් පිටුවක් ලියැවේ දෝ
සඳකැන් ගලනා යාමයේ

මා හදේ පායා
හාදුවක් මුව තවරා
ඉන්න සොඳුරේ ආයේ පාවෙලා නොයා

සෝ තැවුල් මායා
ආදරේ දී සඟවා
එන්න මිහිරේ ජීවිතේ පුරා


දැන් විවේචන ගොඩක් එන්න පුලුවන් නිසා මේ ටිකත් කියන්නම එපායැ. මේ "ටාරා" සින්දුවේ පට්ට කොලිටි වර්ෂන් එකක් නෙමෙයි. පදමාලාව අතට ලැබිලා සහන් ඒක ගායනා කල දෙවෙනි හෝ තුන්වෙනි වතාව. ෆෝන් කට්ටකින් රෙකෝර්ඩ් කලේ. මගේ කන්කරච්චලේ නිසාමයි මේ තත්වයෙන් සින්දුව ලබාදුන්නෙ. (බස්සිට බ්ලොග් පෝස්ටුවක් ලියූ පසු පබ්ලිශ් කිරීමට ඇති තදියම ගැන දන්නෝ දනිති!)
 

මනාගේ සින්දු තවම මග එනවා. ඒවා මනාගෙ යූ ටියුබ් චැනල් එකට ඇතුලත් කල වහාම බස්සිට තව පෝස්ටුවක් තලාගන්න ඇහැක් වේවි. ;)




Wednesday, May 6, 2015

නරකම ඉරණම







අදවත් නැද්ද ඉස්පාසුවක්
නැවතිලා දොඩමළු වෙන්න වදනක් දෙකක්
මැදිරි කවුලුව අසල - ආසනේ කෙලවරක
මටත් දෙන්නට බැරිද ඉඩ ටිකක්?


ගී කියනවා තමයි අට අටහමාර ගැන
නිදහසේ කරකවා සිහින් අත්
හිතනවද මහත් ප්‍රීතියෙන් යැයි මම මෙතැන
ඔබ දුවනකොට ඔහොම කලබලෙන්
"ඩක ඩකස්" හඬ දිදී දුම් පිඹ
ඇස් කොනින් බැල්මකුදු නොම දෙමින්


පොඩි කුරුල්ලෙක් දෙන්නෙක්
කලාතුරකින්‍ ය ලැගුම් ගන්නෙත්
ටියුෂන් ය, රිවිෂන් ය කියකිය
හදිස්සියකින් ය පියඹා යන්නෙත්
පියානෝ එක්සෑමයේ ගී
විතරමයි කටපාඩමින් මුමුණන්නෙත්


සාරි, කම්බා, ගවොම්, කලිසම්
යන්නෙම දුවන ගමනින්
එන්නෙ ඊටත් වේගෙන්
කරකවා දෙඅත් මම දිගටෝම වැයුවත්
ඉහල නොබලයි වැරදිලාවත්
මැණික් කටුවම බලයි විමසුම් බැල්මෙන්


නරක ඉරණම් කොයිතරමකට තිබුනත්
එයින් මුල්තැන ගන්නෙ කවදත්
නගරෙ හරි මැද - අමතකව ගිය
පණ ගැහෙන ඔරලෝසු කණුවක්!





කවියේ තේරුමක් හිතන්න උත්සාහ කරනවානම්, ඒ ගැන හිතෙන දේ කුරුටුගා යනවානම් මම ගොඩාක් සතුටුයි. කොහොමත්ම තේරුමක් හිතාගන්න බැරි උනොත් අද හවසට තේරුම ලියා යන්නම්කො. මොකද අඤ්ඤකොරොස් කවි ලිවීම ගැන චෝදනා බහුලයි මට.


ප.ලි.

තේරුම මැජික් තීන්තෙන් ලියා ඇත. සිලෙක්ට් කර කියවන්න.




ඔරලෝසු කණුව, මේ ඔරලෝසු කණුව තියෙන්නේ කළබල නගරයක් මැදින් වැටුන රේල්පාරක් පේන මානයේ. එයාට පේනවා ඉස්පාසුවක් නැතිව එහෙමෙහෙ දුවන සීග්‍රගාමී දුම්රිය.


//අදවත් නැද්ද ඉස්පාසුවක්
නැවතිලා දොඩමළු වෙන්න වදනක් දෙකක්
මැදිරි කවුලුව අසල - ආසනේ කෙලවරක
මටත් දෙන්නට බැරිද ඉඩ ටිකක්?//


ඔරලෝසු කණුවටත් ආසයි දුම්රියත් එක්ක වචනයක් දෙකක් නැවතිල්ලේ කතා කරන්න. නැවතිල්ලේ... ඒත් ඔරලෝසු කණුවම තමයි දුම්රියට නොනවත්වා දුවන්න ඕනෙ බව මතක් කරමින් වෙලාව කියකියා කෑ ගහන්නෙත්.


//ගී කියනවා තමයි අට අටහමාර ගැන
නිදහසේ කරකවා සිහින් අත්
හිතනවද මහත් ප්‍රීතියෙන් යැයි මම මෙතැන
ඔබ දුවනකොට ඔහොම කලබලෙන්
"ඩක ඩකස්" හඬ දිදී දුම් පිඹ
ඇස් කොනින් බැල්මකුදු නොම දෙමින්//


හිතන්නකෝ මේ ඔරලෝසු කණුව අර හැඩ දුම්රියට ආදරෙයි කියලා.


හැමෝම රේස් එකක් දුවනවා. වෙන එකක් තියා පුංචිම කුරුල්ලෝ පවා. උන්ට නිදහසේ සින්දුවක් කියන්නවත් වෙලාවක් නෑ. ගොඩක් උන්ට සිංදු මතකත් නෑ. සිංදු ඉගැන්නුවත් ඒ ඉගෙනගන්නෙත් තවත් තරඟයක් වෙනුවෙන්.


//පියානෝ එක්සෑමයේ ගී
විතරමයි කටපාඩමින් මුමුණන්නෙත්//


ඇත්තටම දැන් ඔරලෝසු කණුව අමතක වෙලා ගිහින්. යල්පැන ගිහින් කීවොත් තමයි වඩාත් නිවැරදි. තමන්ගේ කාලෙ ඉවරවුනායැයි දැනෙනකොට ගොඩක් ඔරලෝසු කණුවල වෙලාව නතර වෙනවා. මිය යනවා. ඒත් මේ ඔරලෝසු කණුව තවමත් හුස්ම ගන්නවා, වෙලාව කියනවා හැමෝටම අමතක වෙලා ගියත්.


ඔරලෝසු කණුව කියන්නේ තරුණ කාලෙදි තමන්ගේ බාල පරම්පරාව අති ධාවනකාරී ජීවන රටාවකට හුරු කරවලා අන්තිමේදි ඔවුන් ඒ වේගයෙන්ම තමන්ව පහු කරගෙන යන හැටි බලාගෙන ඉන්න, මැදි වයසේ අවසාන භාගය ගත කරන මනුස්සයෙක් වගේ.


අපිට ඔරලෝසු කණුවට නැගලා අපේ ජීවිතේ දිහා ඉහල ඉඳන් නැවතිල්ලේ එක මොහොතක් බලන්න පුලුවන්නම්. "නරකම ඉරණම" කියන මාතෘකාව හොඳින්ම තේරුම් ගන්න පුලුවන් වේවි.


ඔන්න විස්තරේත් දුන්නා. උපන්දිනේ වෙනුවෙන් කියල හිතාගන්ටකෝ...




Tuesday, May 5, 2015

මුහුණු (කෙටිකතාව)




සන්දීරා බස් එකේ ඇගේ ප්‍රියතම ආසනයේ වාඩි වෙලා උන්නා. දකුණු පැත්තේ තුන්වෙනි යුගල ආසනය. කවුළුව අසල. තුන්වෙනි යුගල ආසනය වෙනුවට හතරවැනි ආසනය ලැබීම ඒ තරම් ප්‍රශ්ණයක් නෙමෙයි. පස්වැනි ආසනය වුනත් තරමක් නොමනාපයෙන් දරාගන්න පුලුවනි. හැබැයි දෙවෙනි ආසනය කියන්නේ කවදාවත් හිඳ නොගත යුතු තැනක්. ඒක වෙන්කරලා තියෙන්නෙ ගැබිණි මවුවරුන්ට. එතන ඉඳ ගැනීම අනවශ්‍ය අවධානය ලැබෙන දෙයක්. සන්දීරා අකමැතිම දේවල් අතරෙ ඉහළින්ම තිබුන දෙයක් තමයි “අනවශ්‍ය අවධානයට ලක්වීම”.


සන්දීරා අකැමති දේවල් බොහොම දිග ලැයිස්තුවක් තිබුනා. මේ මොහොතත් ඒ අකැමති ලැයිස්තුවේ ඉහලින්ම තියෙන දෙයක්. අකැමති රස්සාවකට – අකැමති නගරයක, අකැමති වාහන තදබදයක් මැද, කැමතිම අසුනේ ඉඳගෙන ගමන් කිරීම. ඒත් එක්කම ඈට මතක් වුනේ දුම් අංශු තැවරුන කොළඹ දූවිලි හුළඟටත් තමන් අකැමති බව. හුළඟ හැමවෙලේම උත්සාහ කරන්නේ හෙයා ස්ප්‍රේ තවරලා එක්තැන් කරපු කෙහෙ කැරලි එකක් හරි ගලවලා නළලට ඇද දාන්න. ඒ වෙනුවෙන් හුළඟ විනාඩි ගණනාවක් එක සීරුවට  මහන්සි වෙනවා. බැරිම තැන පරාජයේ ලැජ්ජාව වහගන්න හිතාගෙන ඇහැට වැලි අහුරක් ඉහලා පැනල යනවා.

 
ඉතින් ඈ කවුළුව වහල දැම්මා. කොහොමත් කවුළු තියෙන්නේ ඇස් දෙකයි හිතයි පාර දිගේ දුවවන්න මිසක හුලං වදින්න නෙමෙයි.

 
ඈට එහා පැත්තේ උන්නු මැදි වයසේ පිරිමියා පැහැදිලි “චුක්” හඬක් නගමින් වහපු කවුළුව ආයෙමත් විවර කලා. ඔහුගේ වැලමිටක් තමන්ගේ දකුණු පියොවුරේ වැදුනේ වැරදීමකින් වෙන්න ඇති කියල සන්දීරා හිත හදාගත්තා.

 
ආයෙමත් අර වේලිච්ච හුලඟ. පිරිමියා ගැන හිත ඇතුලෙ බුබුලු දාන තරහවක්. පියොවුරු ස්පර්ශ වීම වුනත් අහම්බයක් වෙන්න බැහැ. මහ නොසන්ඩාල, අසික්කිත මිනිහෙක්. ඈට පිරිමියාගේ දකුණු කන පිටුපසට වෙන්න තැනින් තැන පැලවෙච්ච සුදු කෙස් ගස් පේනවා. පොඩි අතපසුවීමකදිත් පැය ගණන් දේශන පවත්වන,  වැරැද්දක් වුනොත් කවුන්ටරය ඉදිරියේම පුපුරා හැලෙන, අතිකාල දීමනා අනුමත නොකරම හැන්දෑ වෙනකල් වැඩ කරන්න බල කරන බැංකු කලමනාකරුගේ හිසත් මේ වගේමයි. තැනින් තැන අපිළිවෙල සුදු කෙස්.

 
විය යුතු පරිද්දෙන්ම සන්දීරා බැංකු රස්සාවට කැමති වුනේ නැහැ. ඒත් ඈ හොඳ ක්‍රිස්තියානි පවුලක දැරියක්.   ඉගෙනගත්තෙ සුදු පරෙවියෙක්ගේ ලාංඡනය සහිත කන්‍යාරාමයක. ඉතින් දෙමව්පියන් තෝරා බේරා දෙන දේවල් අවිවාදයෙන් යුතුව පිළිගන්න පුරුද්ද ඇගේ ලේ නහර වලට කා වැදී තිබුනා. බැංකු රස්සාව එවැනි තෝරා දීමක්. වැදගත් රස්සාවක්. සාරි ඇඳන් වැඩට යන්නෙ. බැබලෙන පටි සහිත අඩි උස සපත්තු.

 
කොල්ලුපිටිය පැත්තට ඇදෙන ඝන වාහන දුමාරය තරණය කරලා ඈ නිල් පැහැ ටයිල් ඇල්ලූ පඩිහතර පහු කලා. අසීරු සිනහවක්. උදෑසන කියන්නේ අසීරුවෙන් වුනත් හිනා වීම අත්‍යාවශ්‍ය වෙලාවක්.

 
‘ගුඩ් මෝර්නින්ග් සර්!’
 
‘ගුඩ් මෝර්නින්ග්!’
 
‘මෝර්නින්!’
 
‘මෝනිං!’

 
ඊළඟට එළැඹෙන්නේ පෝලිමට ඇවිත් තමන්ට කරදර කරන මිනිස් ගංගාවට කිසිම වෙනසක් නොපෙන්වා සිනාසීමේ දීර්ඝ පැය අටක කාලය. උදේ දහය විතර වෙනකම් තදබදය වැඩියි. දහයයි තිහ කියන්නේ ඇස් ආලේපන සහ තොල් ආලේපන අලුත් කරගන්න සුදුසු වෙලාව.

 
පෝලිමට එකතු නොවී බිත්තියට හේත්තු කර තියෙන දුඹුරු පැහැ කුශන් පුටුවල වාඩි වී ඉන්න ගෑනු මිනිස්සු කියන්නෙ අමුතු දසුනක් නෙමෙයි. ඒත් නුහුරු ගතියෙන් පුටුවෙන් බාගෙක වාඩි වෙලා ඉන්න කෘශ ගැහැණු සිරුර අසාමාන්‍ය දසුනක් බව දැනුනේ ඈ එතනට ඇවිත් පැයකටත් වැඩි බව හදිසියේම සන්දීරාට මතක් වීමත් එක්ක.

 
තදබදය යම් තරමකට තුනී වේගෙන එනකොට ගැහැණියගේ විමසිලිමත් ඇස් කවුන්ටරයෙන් කවුන්ටරයට ගමන් ගන්න හැටි පැහැදිලිව පෙනුනා. වම් කෙලවරේ සිට දකුණට. ආයෙමත් වමට. පලින් පල මද තිගැස්මකින් යුතු ඇහිබැම සැලීමක්ද සහිතව.

 
ඇස් එහා මෙහා ගමන් කල එකොලොස් වැනි වාරයේදී සන්දීරා ඇගේ ඇස් අල්ල ගත්තා. අගුළු ලා ගත්තා කීවොත් තමයි වඩා නිවැරදි. දිගැටි මුහුනේ විඩාපත් සිනහවක් මතුවුනා.

 
දෙවරක් හිස සැලීමක්. එයින් තත්පර කිහිපයකට පස්සෙ කෙසඟ සිරුරැති ගැහැණිය ඈ ඉදිරියේ හිටගෙන උන්නා.

 
“ඇයි?”

“මනෝහරී? මනෝහරී මැඩම් එන්න තව පරක්කු වේවිද?”

“මනෝහරී මැඩම්?”

“හ්ම් ම්හ්! තළෙලලු, උස. මනෝහරී මැඩම්. වම් පැත්තෙ ඉඳන් තුන්වෙනි පුටුවෙ වාඩි වෙන්නෙ.”

‘ඔහ්! එයා හදිස්සියෙම නාරාහේන්පිට බ්‍රාන්ච් එකට මාරු වුනා නෙ. මේ.. මේ… මං කියන්නේ, එයා දැන් මෙහෙ නෑ.”

 
කෙසඟ සිරුරැති ගැහැණිය ආපහු යන්න වගේ ආපිට හැරුනා.

“පොඩ්ඩක් ඉන්න. මොකද්ද නම?”

“ඉයුජීන්.”

“බැංකුවෙන් කෙරෙන්න වුවමනා දෙයක් ඇත්නම් කියන්න. අපිට පුලුවනි උදව් කරන්න.”

 
කෙසඟ ගැහැණිය එකෙල මෙකෙල වෙන අතරේ තමන්ගේ කවුන්ටරය ඉදිරියේ පෝලිම් ගැසී හුන් තරුණියන් තිදෙනෙක් අනිත් කවුන්ටරයේ පෝලිමට එකතු වෙනවා සන්දීරා දැක්කා. ඉක්මන් කරන්නැ’යි කියන්න හිතාගෙන ගැහැණියගේ මුහුණ දිහා බලපු ඈ මොහොතකට ගල් ගැසුනා. සිය ගණනක් රේඛා සහ පැල්ලම් ඇගේ කම්මුල් මත ඉල්පෙමින් එකකට එකක් නොපරදින නෝක්කාඩු දහස් ගණනක් මුමුණමින් උන්නා. ඒ කිසිත් නොදන්නා විදියට ඉයුජීන් තමන්ගේ අත් බෑගය අවුස්සනවා.

 
“පාස් පොත” ඈ වෙවුලන සුලු අතැඟිලි වලින් පැරණි බැංකු පොතක් වීදුරුව දිගේ මෙපසට තල්ලු කලා. එතුල වූ මුදල් ආපසු ගැනීමේ ලියැවිල්ලේ ‘රුපියල් හත්සිය හැත්තෑවක් පමණයි’ යනුවෙන් සටහන්ව තිබුනා.

 
සන්දීරා ඇගේ ගිණුම් දත්ත කියවා බැලුවා. එහි තිබුනේ රුපියල් නමසිය විසි තුනයි ශත ගණනක්. අනිවාර්යය තැන්පතුව වන රුපියල් තුන්සියය ඉවත් කල පසු ඉයුජීන් වෙනුවෙන් රුපියල් හත්සිය හැත්තෑවක් නිකුත් කරන්න බැහැ.

 
සන්දීරා නැවත වරක් හැඳුනුම් පතේ වූ හඬන්නට ආසන්න ඉදිමුණු මුහුණත්, තමා ඉදිරියේ හිස පසකට ඇල කරගෙන ඉන්නා ගැහැණියගේ දිගැටි, වියළුණු මුහුණත් සංසන්දනය කර බැලුවා. ඈ ඇඬුම්බර මුහුණුවලට අකැමතියි. ගැහැණියගේ කඳුළු වියළී තිබීම ඈට ලොකු සතුටක් වුනා.


‘මේ මුදල ලබාදෙන්න හැකියාවක් නෑ.’ කියලා කියන්නයි සන්දීරාට වුවමනා වුනේ. ඒත් ඈ අහලා තිබුනේ “ඔයාට මේ වගේ ගානක් වුවමනා උනේ මොකටද?” කියලයි.

 
අසරණ සිනහවක තැනින් තැන මතුවුන කහට පැහැ දත්.

“පොඩි පුතාට. පේමන්ටෙකේ, පාර එහාපැත්තෙ පේමන්ටෙකේ අවුරුදු සේල් දාල ඉස්කෝල බෑග් විකුණනවා. රුපියල් අටසීයක් කියලයි කියන්නෙ. වැඩිපුර තිහක් තියෙනව අතේ. මනෝහරී නෝන මාව දන්නවා, ඔව්.”

 
සන්දීරා ආයෙමත් ‘මේ මුදල ලබාදෙන්න හැකියාවක් නෑ.’ කියන්න ගියේ, ඒත් ඈ කියල තිබුනේ “මම ලොකු මහත්තය එක්ක මේ ගැන කතාකරල එන්නම්.” කියලයි.

 
‘නීතියෙන් බැඳී සිටිනවා’, ‘නොවැදගත් ප්‍රශ්ණ පුම්බවා ගැනීම’, ‘රාජකාරීමය ඇහැකින් බැලීමේ නොහැකියාව’ වගේ වාක්‍යාංශ වරින් වර වීදුරු දොර අතරින් පිටතට ඇහුනා. ඉයුජින් ඒ දිහා හිස් බැල්මෙන් බලා උන්නත් සන්දීරාට නම් දැනුනේ කළමනාකරුගේ වායුසමීකරණය කල කාර්යාල කාමරය උණු වී වැගිරෙනවා වගේ.

 
සන්දීරාට එතැනින් පලා යන්න වුවමනා උනා. අකැමති හැමදේකින්ම ඉවත් වෙන්න. ඒත් ඈට තෝරාගැනීමක් කරන්න පුරුද්දක් තිබුනේ නැහැ. මේ දක්වා සියල්ල සිදුවුනේ අනිච්චානුගව. ඇගේ මෙහෙයවීමක් නැතිවම. ඉතින් ඈ උපන් දා ඉඳන් හැඩගැසී තිබුනෙත් එහෙම.

 
ඒත්, ඉයුජින්ගේ දැල්වෙන ඇසුත්, කතන්දර දහස් ගනනක් සඟවාගෙන සිටි රැලි වැටුන දෙකොපුලත් දකිනකොට සන්දීරාට නොදැනුවත්වම අත් පසුම්බියට එබුනා.
 

“ඇයි රුපියල් අටසීයක්?” කියන ප්‍රශ්ණෙ ඉදිරිපත් නොවීමම ලොකු සහනයක්.
 

සන්දීරා විවේකාගාරයට ගිහින් ලහිලහියේ නෙත් ආලේපන සහ තොල් ආලේපන අලුත් කලා. මහත් තෘප්තියකින් ඇගේ හදවත ඉපිලෙන්නට අරන්.



****************************

 

හරියටම පැයක් ගතවුන තැන, ඉයුජින් වෙනත් බැංකුවක වෙනත් ශාඛාවක අසුන්ගෙන හිටියා. ඇගේ අතේ වූ මුදල් ආපසු ගැනීමේ ලියැවිල්ලේ “රුපියල් අටසිය පනහක් පමණයි” යනුවෙන් සටහන්ව තිබුනා.









~ ඉ ව ර යි ~