Monday, February 23, 2015

~ රැලි ~






කුඩා සුරඟන තාලයකට හිස නටවමින් කහ පැහැ මුහුදු වැල්ල යාන්තම් ඇවිස්සෙන ලෙස දෙපා සලන්නට වූවාය. ඕ නූස් ය. බුහුටි ය. බටර් පැහැතිය. දුඹුරු පැහැ වටකුරු දෙනෙත් ය. හිස් මුදුනෙහි ගැටගැසූ පොල් මලක හැඩැති  අකීකරු හිසකේ ය. 


මුහුදු රැලි දැරිවිය ඉස්සි ඉස්සී කුඩා සුරඟනගේ නැටුම් තාලය බලා උන්නාය. සුරඟනගේ ලගන්නා සුලු ලණු පැනුම් අනුකරණය කරන්නට ගොස් ගල් තලාවක පයද හප්පා ගත්තාය. දිය බිඳිති දසත විසිර ගියද ඇයට වේදනා දැනුනේ නම් නැති.  කුඩා සුරඟන සමග මිතුරු වන්නට ඇත්නම් කොපමණ අගේ දැයි මුහුදු රැලි දැරිය නිතරෝම සිතුවා ය.


කුඩා සුරඟන වාසය කලේ වෙරළ කෙලවර ලෑලි මන්දිරයකය. ඈ සතු ගවොම් දෙකකි. එකක් ලා දම් පැහැ වූ අතර අනෙක මුහුදු නිල් පැහැ විය. මුහුදු නිල් පැහැ ගවොම අඳින දිනවල කුඩා සුරඟන බොහෝ හැඩ ඇති බව මුහුදු රැලි දැරිය කල්පනා කලාය. මදක් ඉරී ගිය ගවොම් වාටියක හිමිකාරියක් වීම කදිමයැයි සිතූ මුහුදු රැලි දැරිය සියක් පෙණපිඬුවලින් ලොවිච්චි යෙදූ සිය නිල් ගවොම් සායෙහි කොනක් ලෙහා දමන්නට තැත් කලාය.


කුඩා සුරඟන අහසට මුහුණ හරවා අත්ල බොකුටු කර නළලට ඉහළින් හිරු රැස් මුවාවක් තනා ගන්නී, 'අම්මා, අම්මා' යැයි සෙමෙන් මුමුණන්නීය.  අහස් යාත්‍රා වළාකුළු ඉරා ඇදෙනයුරු ඈ බලා සිටින්නේ බැබලෙන දෑසිනි.


මුහුදු රැලි දැරිය කෙළිලෝල ය. බොහෝ සැන්දෑවරු වල ඈ සිය මිතුරු රැලිති කැටුව වෙරළට පැන පැන ඔට්ටු සෙල්ලම් කලාය. කුඩා සුරඟනගේ රෝස පැහැ පා පොඩිති මත දැවටෙමින් ආල පෑමත්, ඇගේ වැලි මන්දිරය යාන්තම් තෙත් කර පැන දිවීමත් මුහුදු රැලි දැරියට ඉතා ප්‍රිය ඉපිදවී ය. කුඩා සුරඟන සිය දෙපා හංකිති කැවෙන බව පවසමින් එක තැන උඩ පනින්නී මහ හඬින් සිනා පිපිරෙව්වාය. කුඩා අත් පොඩි වලින් දිය බිංදු අල්ලා සිර කරන්නට තැතනුවාය.


මුහුදු රැලි දැරියගේත්, කුඩා සුරඟනගේත් හිසට ඉහළින් හිරු බොහෝ වාරයක් ගමනේ යෙදුනේය. ඉතින්, විය යුතු පරිද්දෙන්ම, කුඩා සුරඟන ජේත්තුකාර තරුණියක් බවට පෙරලෙද්දී. මුහුදු රැලි දැරිය හැඩැති තරුණ රැලිත්තක් ලෙස වැඩුනා ය.


එකෝමත් එක මද්දහනක ජවසම්පන්න තරුණ රැල්ලක් මුහුදු රැලි තරුණිය වටා දැවටෙන්නට විය. ඕ හිස ගස්සා ආඩම්බර පාන්නී නෙත් කොනින් විසල් මුහුදු රළෙහි සවිමත් බාහු යුගලය දැක රත් පෑ ගැන්වුනාය. වහ වහා බිම බලා ගත්තාය.


දින සති වලටත්, සති මාස වලටත් පෙරැළෙන්නාහාම මුහුදු රැලි තරුණිය සිය පෙම්බරාගේ සවිමත් බාහු අතර දැවටෙනයුරු සැඳෑ වළාවන්ට දිනක් පාසා දැකගත හැකි විය.


'ආන් බලාපල්ලා අර තරුණකම ඉතිරෙන පෙම්වත් රැලිති.' කටකාර මුහුදු ළිහිණින් එකිනෙකාගේ ගෙල පිටුපසට හොටයෙන් ඇන ගනිමින් කසුකුසු ගෑහ. මුහුදු රැලි තරුණිය සිය පෙම්බරාගේ චුම්භන වරුසාවක කිඳී යනු දකින උසැති පොල් රුප්පාව සර සර නදින් කොස්සන් ලා සිනාසුනේය.


මේ සුරංගනා කතාවකි. ඉරණම්කාර කුමාරයෙක් නැති සුරඟන කතා ලොව කිසි තැනෙක නැති. ඉතින්  ජේත්තුකාර තරුණියක් බවට වැඩුනු අපේ කුඩා සුරඟන වෙත හද බැඳුනු ඉරණම්කාර කුමාරයෙක් වෙරළ අයිනේ ගැවසෙන්නට පටන් ගෙන තිබුනි.


සුරඟන දැන් කහ පැහැ වැලි අවුස්සා සෙල්ලම් කිරීමද, අහස් යාත්‍රාවලට අත වැනීමද, තෙත් වැල්ලෙන් කෝම්පිට්ටු තැනීමද නවතා දමා බොහෝ කල් ය. ඈ වඩා ප්‍රිය කලේ වෙරළට පෙනෙන මානයේ පෙම් කරන තරුණ දිය රැලි දෙස හෝරා ගණන් බලා හිඳීමට ය. මුහුදු ලිහිණින් කියන ඇතැම් රහස් කන වැකෙන්නාහාම ඇගේ පිරුණු කොපුල් ලා රත් පැහැ ගැන්විණි. එවන් සැන්දෑවල ඕ වෙනදාටත් වැඩි කාලයක් වෙරළ අද්දර ගල් තලාව මත රැඳුනාය. දෙදණ තෙක් දිගු වූ සිය ඝන කෙස් කළඹ පිරිමදිමින් මොනවාදෝ මහ බරට  කල්පනා කරන්නට යෙදුනාය.


ඉරණම්කාර කුමාරයා වෙරළට ආවේ සුදු අසු පිටින් නොව වයින් පැහැ යතුරුපැදියකිනි. ඔහු පැහැපත්ය. පුෂ්ඨිමත්ය. අක්බඹරු හිසකේ ය. නිල් පැහැති ගැඹුරු දෙනෙත් ය. මුහුදු රැලිවල ආල ලීලා දැකුමෙන් සසල වී සිටි සුරඟන ඔහු දැකීමෙන් ඔද වැඩී ගියාය. 


එක් අටවක පොහොයක් ගෙවී යන හෝරාවක මුහුදු රැලි යුවල රැලි-පවුලක් බවට පත්විනි. කුඩා රැලි පැටව් දහස් ගණනක් අත්තල ගසමින් අම්මා රැල්ලත්, අප්පච්චි රැල්ලත් මැද එහා මෙහා ඇවිදින්නට උගනිමින් සිටියහ. උහු නුහුරු ලෙස ඒ මේ අත පැද්දින, පෙරැලින, නැවත නැවතත් නැගිට වැනි වැනී අඟලක් දෙකක් පෙරට ඇදින. සඳ රැස් පතිත වීමෙන් මුහුදු දිය දිස්වූයේ රන් මිටියාවතක් ලෙසිනි.





රැලි පැටව් ඉක්මනින් පිහිනන්නට ඉගෙන ගත්හ. ඔවුහු පිම්මේ වෙරළට දිව යන අයුරු අම්මා රැල්ල ආදරය උතුරන දෑසින් බලා උන්නාය. අප්පච්චී රැල්ල ඈත මුහුදේ පත්ලෙහි සැඟව ඇති විදුලි එළි එක්දහස් අටසියයකින් සැදි ගිලුණු නැවේ කතාව කොටස් වශයෙන් කියා දෙන්නේ රැලි පැටවුන්ගේ ඇස් විස්මයෙන් විසල් කරවීය.


කාලයත් සමග රැලි පැටව් වෙරළ වෙත පිහිනීමටද, කහ පැහැ වැලිතලය මත ඒ මේ අත පෙරලෙමින් දඟපෑමටද උගත්හ. වැටකේ පඳුරු අතර හැංගිමුත්තම් කරන බටර් පැහැ සුරඟනක් ගැනත්, ඇගේ නිල් ඇස් ඇති පෙම්බරා ගැනත් රැලි පැටවුන්ට කතාවෙන්නට බොහෝ ඕපාදූප තිබිණි. වැටකේ ගාල අසල නොගැවසෙන්නැයි අප්පච්චී රැල්ල තරවටු කලත්, ඒ නෑසූ කන්ව ඔවුහු තව තවත් හැංගිමුත්තමටම ප්‍රිය කලහ.


එක් අව අටවක රැයක අම්මා රැල්ල වෙරළ වෙත පාවී ආවාය. මෙන්න එහි ඇගේ මිතුරු සුරඟන, අර පරණ ගල්තලාව මතම, දෙදණ මත හිස රුවාගෙන සහ නිසොල්මන්ව! අම්මා රැල්ල වෛවර්ණ සිප්පි කටු තොගයක් හිසෙන් තල්ලු කරගෙනම සුරඟන වෙත එළැඹෙන්නී ඇගේ රෝස පැහැ දිගු දෙපා මත පෙරැලුනාය. 





සුරඟන විපිලිසරව හිස එසවූවාය. මදක් ඉදිරියට නැමී ඕ කුඩා සන්දියේ වඩාත් ප්‍රිය කල දෙපියන් බෙල්ලෙක්ගේ ලා රෝස පැහැ කවචයක් අහුලා ගත්තාය. ඒ අත්ලට මිටි කර ගත් සුරඟන සඳ එළිය බිඳකුත් නැති අහස දෙස බලා 'අම්මා, අම්මා' යැයි සෙමෙන් මුමුණන්නට වූවාය.


අතීතකාමයෙන් මඩනා ලද අම්මා රැල්ල කුඩා රැලි දැරියකමෙන් සුරඟනගේ දෙපා මත සුදෝ සුදු පෙණ පිඬු විසිරෙව්වාය. නමුත් සුරඟන පෙර පරිදි දෙපා සැලුවේ නම් නැති. ඕ හිස් බැල්මෙන් ඈත ක්ෂිතිජය දෙස බලා උන්නාය. ඇගේ පා ඇඟිලි අතර රැඳි මුහුදු දියෙහි ලුණු රස වැඩිවී ඇති බැව් අම්මා රැල්ලට දැනුනි. 'ඈ බොහොම වෙනස් වෙලා.' අම්මා රැල්ල කම්පාවෙන් ආපසු හැරුනා ය. 'ඒ කුඩා සුරඟන ආයෙමත් එන එකක් නැහැ.' කනගාටුවෙන් හිස බරකරගත් අම්මා රැල්ල ආපසු මුහුදු නිවස්නය බලා ඇදුනාය.


සුරඟන ඇති තරම් හැඬුවාය. බොහෝ වේලාවක් හැඬුවාය.


මුහුදු රැලි පවුල දිනෙන් දිනම විසාල විය. මුහුදු ලිහිණින් පුරුදු තාලයටම ගී ගැයූහ. කාකයෝ පුරුදු කලබල ගමනින් රැලි හිස් වලට ඉහළින් කෝටි ප්‍රකෝටි වාරයක් ඒ මේ අත පියඹා ගියහ, සුළඟත් සමග කල ඕපාදූප කතාවක් අවසන පොල් රුප්පාව සරසර නදින් සිනා සැලුවේය.


එකෝමත් එක දවසක අම්මා රැල්ල ඇගේ මිතුරු කුඩා සුරඟන වෙරළේ ලණු පනින'යුරු දකින්නී, ලහිලහියේ ඈ වෙත දිව ගියාය. ඔව්, ඒ ඇගේ මිතුරු කුඩා සුරඟනමය. ඕ නූස් ය. බුහුටි ය. බටර් පැහැතිය.හිස් මුදුනෙහි ගැටගැසූ පොල් මලක හැඩැති  අකීකරු හිසකේ ය. 


වෙනසකට තිබුනේ ඇගේ ගැඹුරු නිල් පැහැ දෙනෙත පමණක්ම ය. ඔව්. එපමණමය.









Tuesday, February 17, 2015

ගමන් බිමන්



"මං හිතන්නෙ මොන්ටිසෝරියෙදි 'නිවැරදිව පාරේ ගමන් කරන්නේ කෙසේද' කියන පාඩම උගන්නපු දවසෙ මං හොර ලෙඩක් අරන් ගෙදර ඉන්න ඇති."


"අහා ඒකනම් ඇත්ත. ඔයා එක වසරෙදිත් ඒ පාඩම කට් කරන්න ඇති සුවර් එකටම." බස්සා නොනවත්වාම ලැපට කොටන අතරෙ කියනවා.


වෙනදානම් ඔය වගේ කතාවකට උත්තර දෙන්නෙ කොට්ට හෝ මිටිගුලි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් උනත් අදනම් මටත් හිතෙනවා වැඩේ ඇත්ත තමයි කියලා. පාරට බැස්සම මගේ සිහිකල්පනාව කියන එක හැංගෙනව හැංගිල්ලක් ආය මක්කරලවත් බෑ ඒක හොයාගන්න. ඔය හින්දාම  ගොඩාක් යාලුවො ටටා බායි කියනකොට "හැප්පෙන්නැතුව පල" කියන හෘදයාංගම ආශිර්වාදයත් අනිවාර්‍ යයෙන්ම එක්කාසු කරනවා.







උදේ පරක්කුවෙලා නැට්ට කරේ තියන් පාරට දුවලා නැග්ගා කියන්නකො බස් එකකට.  මෙන්න බොල වෙනදා හැව්ලොක් පැත්තෙන් යන බස් එක එකපාරටම යනවා ටොරින්ටන්, ජාවත්ත පැත්තෙ. ඇස් ගෙඩි තඩි කරන් ඉතාම  අසරණ විදියට බස් එක මාවත් අරන් අමුතු රුට් එහෙක යනවා බලන් උන්නු මම එහාපැත්තෙ සීට් එකේ හිටපු ඇන්ටිගෙ පිහිට පැතුවෙ කොන්දා ජන ගංගාව මැද්දෙ පණුවෙක් වගේ ඇඹරෙමින් එහෙට මෙහෙට යාත්‍රා කරනව මිසක බස් රූට් ගැන  ප්‍රශ්ණ පත්තරවලට මූණ දෙන්න තරම් යහපත් මූඩ් එකක නොහිටපු නිසයි.


ඇන්ටි කියාපු තොරණෙ විස්තරේට අනුව මං ඇහිල්ලක් බැලිල්ලක් නැතුව අප්ලෝඩ් වෙලා තියෙන්නෙ වැරදි බස් එකට නෙව. ඒ මදිවට ඒ බස් එක ඔෆිස් ටයිම් එකට අමුතු රූට් එකක යන ඉස්පෙසොල් බස් එකක්ලු.


දැන් මම බස් එකේ කවුලුවට ඇස්ගෙඩි දෙක තදකරගෙන අස්සය මැරිච්ච ජොකියා වගේ දහ අතේ කම්පනා කොරනව කොහොමද මගෙ නෝමල් රූට් එකට සම්බන්ධ වෙන්නෙ කියල. මෙහෙම ගිහින් මාව අතුරුදහන් උනොත් සාක්කියක්වත් තියෙන්ඩ එපැයි කියල මතක් උනේ ඒ වෙලාවෙ.


වහාම ගත්තා බස්සට කෝල් එකක්.


"බස්සුවා මාර වැඩක්නෙ උනේ බලන්නකො."


"ම්හ්. අද මොනාද අමතක වෙලා ගෙදර දාල ගියෙ? අයි.ඩී. එකද?'


අයි.ඩී. නෙමෙයි මේ අමුතු රූට්වල යන ඇක්ස්ට්‍රා ඉස්පෙසොල් අමුතු බස්වල ගිහින් මාව අතුරුදහන් උනොත්  යන්න වෙයි උන්දැට සී.අයි.ඩී. එකම සාක්කියනෙ ඉතින්.


"නෑ නෑ බස්සුවෝ මං වැරදි බස් එකක නැගලා. මොකද දැන් කරන්නෙ?"


"කොහෙ යන එකක්ද?"


"අමුතු රූට් එකක්.කොටුවට යන්නත් හෙන වෙලාවක් යයි."


ඒක අහපු ගමන් බස්සා ලවක්දෙවක් නැතුව සුපුරුදු විධි ක්‍රියාව පුනරුච්චාරණය කරන්න ගත්තා.

බහින්න.
දැන්ම බහින්න.
කියන එක අහල බහින්න.
මෝඩ තඩියෝ බැහැපිය.
කිව්වම අහල බැහැපිය යකෝ..!!



අනේ ඉතින් බස්සාගෙ අණට කීකරු වෙන මම මගින් බැහැලා පුරුදු  පරිදි ටුක් ටුක් වල පිළිසරණ පතනවා.



මම හිතන්නෙ මගේ මොලේට ඔය බස් රූට්, එදිනෙදා ගමනාගමනය වගේ සරල දේවක් සංස්කරණය කරන්න වෙන එක දිරවන්නෙ නැතුව ඇති. අන්න ඒකයි පෙරේදා උදෙත් මම නුගේගොඩින් බස් එකට නැගලා නුගේගොඩටම ටිකට් ඉල්ලුවෙ. කොන්දොස්තර ඇස් ගෙඩි දෙක ඩොගිත්තාගෙන බලන් ඉන්නකොටවත් මට වැරදුනා කියන එක ගැන අංශුමාත්‍ර අදහසක්වත් ඔලුවට එන්නෙ නැත්තෙත් ඒ නිසාමයි කියලයි මට හිතෙන්නෙ.



දවසක් මං ඔපිස් ඇරිලා ටුක්ටුක්කෙක්ගේ නැගලා එන්ට පිටත් වුනා. රතු පාට සෝයි ටුක්ටුක්කා. මගේ බුද්ධි ප්‍රභාව නිසාම මම වාහන විතරක් නෙමේ මිනිස්සුන්ව පවා මතක තියාගන්නෙ පාටෙන්. ඕන් පළවෙනි දවසෙ මුණ ගැහුන එකා දෙවෙනි දවසෙ වෙන ඇඳුමක් ඇඳන් ආවට එහෙම මලාට අඳුරගන්න බෑ.


ටුක්ටුක් අයියගෙ කොණ්ඩෙ තමා කොණ්ඩෙ! මල්කම් ලියකම් කැටයම් ගොඩායි. පින්තූරු ඇඳපු පුට්බෝලයක් වගේ. ඔව් වොව් පාරෙ යද්දි මගේ අතිවිශේෂ තීක්ෂණ දෘෂ්ඨිය මත නාභිගත වෙන්නෙ ඕවගේ වර්ණනාවිෂයාතික්‍රාන්ත දසුන් තමයි. නෑ නෑ දසුන් කියන්නෙ එයෑගෙ නම නෙමෙයි. මං මේ කිව්වෙ ඔලුගෙඩිය ගැන.





කොහොමින් කොහොම හරි පෙරේරගෙයි පුත්තුන්ගෙයි කඩේ පහුකරගෙන ඉදිරියට ඇදෙනකොට අර ස්කූබි ඩූ එකේ වගේ පේස්ට්‍රි හැඩේ සුවඳක් පාවෙලා ඇවිත් මගේ නහයට තට්ටු කොරන්න ගත්තා.


"ඔහොම චුට්ටක් නවත්තන්න" කියලා වහාම ටුක්ටුක් අයියාට කියපු මම එලියට උද්‍යෝගිමත් අස්ස පිම්මක් පැනලා කහඉර තරණය කරගෙන පේස්ට්‍රියක් එලාගන්ට ගියා. කඩේ මල්ලිට කියල පේස්ට්‍රියක් මරාගෙන ආපහු පිම්මේ ඇවිත් "යං" කියාගෙන කඩේ ඉස්සරහ තිවුන රතු පාට ටුක් ටුක් එකට ගොඩ වුනා.


ටුක්ටුක් අයියා පොඩ්ඩක් ලත වෙවී ඉඳලා ඔන්න හෙමීට පාරට දැම්මා. 


අන්න එතකොටයි මම ඒ උද්වේගතර, හිත තිගැස්සෙන දර්ශණය දැක්කේ. 


ටුක් ටුක් අයියගෙ ඔලුගෙඩියෙ තිවුන මල් කැටයම් ටික සේරම අතුරුදහන් වෙලා!!

ඒ වෙනුවට දැන් තියෙන්නෙ කොලපාට බූල් බෑන්ඩ් එකක් දාපු දිගු වරලසක්.


මම නැවතිල්ලේ ටිකක් වෙලා කල්පනා කලා. ඇත්තටම මනුස්සයෙක්ට මේ තරම් ඉක්මනින් හෙයා ස්ටයිල් එක මාරු කරගන්න හැකියාවක් තියෙනවද! මූ අර රොස්වෙල් ටී.වී. සීරීස් එකේ මැක්ස්ගෙ ඒලියන් බාප්පොච්චෙක් වෙන්ට බැරිද!


අන්න එතකොට තමයි මම ඒ හද කම්පා කරවන දර්ශනය දැක්කේ.


මල් කැටයම් කපාපු ඔලුගෙඩියක් පාර එහාපැත්තෙ තියෙන රතුපාට ටුක් ටුක් එකෙන් බෙල්ල දික්කරගෙන කටත් බාගෙට ඇරගෙන වික්ෂිප්ත බැල්මෙන් බලාගෙන ඉන්නවා. 


හදවත කීං ගාපු පාර මම කොණ්ඩාකාර ඩෑල් එකට වහාම නවත්තන ලෙස අණ කොලා. පව් අහිංසකයා පාර එහාපැත්තට අමාරුවෙන් රිංගගත්තා විතරයි. ආං ඒ නිසා දෙකට නැමිලා සොරියක් කියලා පිම්මේ ගිහින් කැටයම් ඔලුගෙඩි අයියගෙ ටුක්ටුක්කට ගොඩ වුනා.






කිවුවට විස්වාස කරහල්ලා ඒ මනුස්සයා හැක හැක ගාල හිනාවෙන්ඩ ගත්තෙ අපේ ගේ ඉස්සරහ නැවැත්තුවටත් පස්සෙ. 


දැන් මම මිනිස්සුන්ව මතක තියාගද්දි පාටට අමතරව කොණ්ඩා මෝස්තරේ ගැනත් බලනව. 


අහ්! කියන්ඩ අමතක උනානෙ. මම තාම එදා බැහැපු හෝල්ට් එකෙන් බැස්සෙවත්, අර පේස්ට්‍රි කඩේට මංගැච්චුවෙවත් නෑ.


ලැජ්ජාවකට හෙම නෙමෙයි. අහඹු සිදුවීම් නෙව.






බස්සිගේ ඇන්ඩි කතා


1. Mission බෙහෙත් Hiding
2. ඉවුම් පිහුම්
3. එලවේටරන් අත්භූතං - එස්කැලේටර් භයංකාරං
2. සොඳුරු කොට ජීවිතේ





Tuesday, February 10, 2015

කාර්ඩ්, වැලන්ටයින් සහ පඳුරු තැලීම්





මේ උදා වෙලා තියෙන්නෙ අවුරුද්දේ බොහොම වැදගත් කාලයක්. ඉස්කෝලෙ යන කාලෙනම් මගේ ඩිමාන්ඩ් එක ඉහල යන කාලෙ. කොහොමත් ඒ කාලෙ මං වැලන්ටයින් දවසට සතියකට විතර කලින් ඉඳන් හද්ද බිසී. එකා එකාගේ කාඩ් වලට මැසිම වගේ කවි ලියනවා, හද කම්පා වෙන පඬිවදන් ලියනවා එක විජ්ජුම්බරයයි . මගේ පූරුවේ වාසනාවට වෙන්නැති මගේ කවි බිසිනොස් හැකියාව යුනි එකේ කාටවත් මෙව්වා උනේ නෑ. 



ඔය වගේම ඩිමාන්ඩ් තිබුනා මගේ අතිජාත මිත්තර මලියාගේ මනරම් වැල් අකුරු ලිවීමේ හැකියාවට. කොහොමත් කොම්ප්ලිමෙන්ටරි සර්විසස් දෙකක් නිසා අපි දෙන්න ඉඳන් ඉන්නෙත් යාබද ඩෙස්ක් දෙකේ. මගෙ කඩෙන් කවිය ලියෝගෙන, මලියගෙ කඩෙන් අත් අකුරු හැඩගැන්වීම තමා සාමාන්‍යයෙන් සිද්ධ උනේ.


ඔය අතරෙ මාත් ලිව්වා කියාංකො එකෙක්ට කවියක්. මගේ අර වෙන්ඩකවියා ප්‍රතිභාව තව දුරුමිරිස් දාල අඹරලා  අතිවියත් ලෙස ව්‍යංගාර්ථ, උත්ප්‍රාස, අනුප්‍රාස දාල ලුණු වැඩිවෙච්ච හොද්දක් වගේ කවියක් ලිව්වා සාහිත්‍ය පංතියෙ උන්නු අහිංසකම කොල්ලට. උගේ වාසනාවට හා බස්සාගේ අවාසනාවට ඌට එදා ඒ  කවිය තේරුනේ නෑ. කොහෙ තේරුං යන්නද මටත් තාම තේරෙන්නෑ මං ඒකෙන් මොනාද කියන්න හැදුවෙ කියල.



ඒ කාලෙ ඔය DIY කන්සෙප්ට් එක කිසි වැදගැම්මකට නෑ. Handmade කිව්වම අපි "ඉතිං අපිට පාන්දෑ?" කියල අහන තත්වයක් තමා තිබුනෙ. කෝකටත් තෛලය වගේ කඩෙන් ගන්න තොරොම්බල් සුකුරුත්තම් කාඩ් අපිට හෙන වටිනව ඒ කාලෙ.


කියන්ඩ ගියේ DIY සහ හෑන්ඩ්මේඩ් ගැනනේ. මං හිතන්නේ කාර්ඩ් එකක වටිනාකම ආරෝහණ පටිපාටියට දැක්වුවොත් මෙන්න මේ වගේ,

කඩේ තොරොම්බල් > හෑන්ඩ්මේඩ් > DIY


ඔන්න ඔය සූත්තරේට දාලා කිරලා මැනල බලලා මාත් කාටහරි තෑග්ගක් දෙනකොට ඒකට DIY සුකුරුත්තමක් එකතු කරන්න අමතක කරන්නෙ නෑ.



ඉතින් මං හොඳටම දන්නවා එහෙම තෑග්ගක වටිනාකම. මට එහෙම තෑගි - මං කිව්වෙ කාර්ඩ් ලැබිල තියෙන්නෙත් අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්.



ආන්න ඒකයි මට අද මෙච්චර සතුටු. මේ බ්ලොග් එක හරහාම මාව අඳුනගත්තු නිසුපා අක්කා මට වැලන්ටයින්ස් ඩේ එක වෙනුවෙන් බසු කාර්ඩ් එකක් එවලා.  ඒ මදිවාට ඒක swing card එකක්. මං දෙවැනිවට ආසම කාඩ් ජාතිය. (මුලින්ම ආස බොක්ස් කාර්ඩ් වලට)







ඉතින් නිසුපා අක්කියා ඔයාට බොහොම ස්තූතියි. ඕං කාර්ඩ් හදෝගන්න උවමනා අය ඉන්නවනම් දැන් දන්නවනේ කාටද බිසිනොස් එක බාරදෙන්න ඕන කියලා.



මේ තියෙන්නෙ බසු ඇනිවසරියකට මං බස්සට හදා දුන්නු කාර්ඩ් එකක්. සිම්පල් pop - up card එකක් මේක නම්. නිසු අක්කා මේ වගේ පස් ගුණයක්වත් මහන්සි වෙන්න ඇති swing card එක වෙනුවෙන් නම්.








වැලන්ටයින් වෙනුවෙන් වැදගත් වෙයි කියල හිතෙනවා මං කලින් ලියාපු මේ ලිපි. පොඩ්ඩක් හොස්ස පොව්වලා බලාගෙනම ගියානං.




Friday, February 6, 2015

රතු දුඹුරු හිතදැඩි බසය







රතු දුඹුරු කලබල බසය
යාන්තම් උඩ පැන පැන
ගොරව ගොරවා ගාටන


'ස්‍රාස්' හඬකින් පෙරට විසිවී නවතින
ගිලගත්තු සිරුරක් දෙකක් වමාරන
ජනෙල් වීදුරු හෙමින් දිගටම වෙවුලන
කාස ඇංජිම මගදිගට කැහැ කැහැ යන


ඉතා කම්මැලි හෝන් හඬකින්
නිදිකිරන ඇස් ඇහැරන
මග බලන මල් මුහුණු පෙලකට
මහත සැර දුම් ගුලි පිඹින


රතු දුඹුරු කලබල බසය
කැස්සකුත් එක්ක හුස්මක් ඇද
'අනේ මට ඇති ලෙඩක් නෑ' කියන
බෙහෙත් පෙති කොට්ටෙ යට හංගන


හිස බමනකොට නතර කර මග කෙලවර
උස කෙට්ටු මිටි මහත 
සිරුරු සේරම පාර මැදටම අත හරින
පැනඩෝල් පෙති දෙකක් විගහට ගිලින
'හාං දැං හරි යං!' කියාගෙන
ආයෙමත් ගාටන ගමන අරඹන.





Monday, February 2, 2015

"නිල්" අහස යට







“උර්සුලා තව එක වතාවක් මේ ගැන හිතන්න.” රිචඩ්ගේ කටහඬ උස් බිත්තිවල හැපී දෝංකාර දුන්නා.

“ඔයා  මේ ප්‍රොජෙක්ට් එකට අත්සන් කලේ මාසෙකට කලින්. දැන් ඒක කැන්සල් කරන්න විදියක් නෑ.”


“කරන්න දෙයක් නැහැ රිචඩ්. මම ඉන්න තත්වෙ තේරුම් ගන්න. මේක තවත් එක දර්ශනවාරයක් නෙමෙයි. මාස හයක් තිස්සෙ කැලෑවල් ගානෙ, දිය ඇලි ගානෙ ඇවිදින්න වෙන ලොකු ප්‍රොජෙක්ට් එකක්. මගේ අවසාන තීරණේ මේක.” 
මං අපහසුවෙන් වුනත් රිචඩ්ගේ ඇස් දිහාම බලාගෙන කතා කලේ ඔහු මාව තේරුම් ගනීවියි කියන ලොකු විශ්වාසයක් හිතේ තියාගෙන.


“ඔහේට, ඔහේට තිබුනා පරෙස්සම් වෙන්න.”  රිචඩ් යළිත් වරක් හිස දෙපසට වනමින් කෑ ගැහුවා. 

“ඔහේ මේ නැති කරගන්න හදන්නෙ එක ඩීල් එකක් විතරක් නෙමෙයි. අවුරුදු ගානක් පුරාවට දශමෙන් දශමෙ ගොඩනගා ගත්තු ප්‍රතිරූපය. මං දන්නෑ මීට වඩා ඔහේට කොහොම පැහැදිලි කරන්නද කියලා. ඔහේ මේ තැනට ආවෙ තනියම නෙමෙයි ගෑනියේ! ඒක මගෙත් මහන්සිය. මගෙත් කැපවීම. පොඩ්ඩක් හිතපන්!!”


තවත් ඔහු එක්ක කතා කරල තේරුමක් නැතැයි හිතුන නිසා මම යන්න සූදානම් වුනා. රිචඩ් වහාම නැගිටලා මාත් සමගම විදුලි සෝපානය දෙසට ඇවිදගෙන ආවේ මේ ගැන තව වතාවක් හිතා බලන්නැයි ආයාචනා කරමින්.


මම වාහනයට ගොඩවුනේ රිචඩ් ගැන උපන් තරහත් පිළිකුලත් හදවතේ සමසමව බුබුලනය වෙද්දි. ‘මාව හදන්න මහන්සි වුනාය කියන ඒ මිනිහා මුල් කාලෙදි මට සැලකුවේ මොනතරම් පහත් විදියටද! ඒ වෙනකොටත් සෑහෙන දුරට සුවවෙමින් තිබුන මගේ පැති කුදය ගැන හැමවෙලාවෙම උලුප්පා දක්වමින් ඒ මිනිහා මට මොනතරම් උසුළු විසුළු කලාද!’ තරහත් එක්ක මම කඳුලු එනතුරු යටිතොල තදින් විකාගත්තා. ‘ඒත් ඔවුන්ට උවමනා වෙලා තිබුනේ වෙනසක්. ‍යාන්තම් පැති කුදයක් තියෙන, පෙට්ටි හැඩේ ගැහැණියකගේ නිරුවතට මිනිස්සු ඒ තරම් ආකර්ශනය වෙයි කියලා රිචඩ් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.’



මට හීනයක් තිබුනා තාරකාවක් වෙන්න. මට වුවමනා වෙලා තිබුනේ සමාජ විද්‍යාව හදාරන්න. 

මාර්ක් මගේ ජීවිතයට ඇතුල් වෙන්නේ උසස් විද්‍යාලයේදි. අපි ආදරය කලා කියන එක ඒ සම්බන්ධය විස්තර කරන්න ගැලපෙන්නෙ නැහැ මම හිතන විදියට.  

අපි එකිනෙකා තුල ජීවත් වුනා.
ඇටමිදුලු පවා හිරිවට්ටන්න පුලුවන් තරමේ ප්‍රභල ආදරයක් ඒක.


මගේ හීනේ දළුලන්න පටන් ගත්තේ උසස් විදුහලේදි මම තොරාගත්තු වාරාවසාන ව්‍යාපෘතියත් එක්ක.

මට උවමනා  වුනේ ඉන් පෙර කිසිම කෙනෙක් නොකල විදියේ සමාජ ගවේෂණ ව්‍යාපෘතියක් සිදු කරන්න. උසස් විදුහලට අලුත්ම ව්‍යාපෘති වාර්තාවක් එකතු කරන්න. 

ඒ නිසයි මම තෝරාගත්තේ කාමෝත්පාදන සිනමා ක්ෂේත්‍රය.


මාර්ක් මුලදි හිතුවේ මං විහිලු කරනවා කියල වුනත් ව්‍යාපෘති යෝජනාව දුටු දවසේ ඉඳන් එයා මට පුදුම තරමක් උදව් කලා. තොරතුරු ගවේෂණය, විශ්ලේෂණය වගේම වාර්තාව සැකසීමත් අපි දෙන්නාම කලේ එකට. 

අන්තිමේදි මට පුලුවන් වුනා ඒ අවුරුද්දේ විශිෂ්ඨම ව්‍යාපෘතිය වෙනුවෙන් සම්මානයක් දිනාගන්න. 
අපි එදා රෑ එළි වෙනකම් සැමරුවා ඒ සතුට.



ඒත් ඒ වෙනකොට මගේ හීනෙ හැඩය 
වෙනස් වෙලා තිබුනා.



හැඩය වෙනස් වුන හීනෙ ගැන මාර්ක්ට නොකියා ඉන්න මට අමාරු වුනා. තමන්ගේ ආදරවන්තිය නිල් චිත්‍රපට නිළියක් වෙන්න යන එක දරාගන්න ටිකක් අමාරු දෙයක් තමයි. එයා මුලින්ම දෙකට නැමීගෙන මහ හයියෙන් හිනා වුනා. විද්‍යාල මාවතේ යන එන මිනිස්සු පවා තිගැස්මෙන් එයා දිහා බලනකොට එයා තව තවත් හයියෙන් හිනා වුනා.



"ඒක හොඳ විහිලුව!"  මාර්ක් බර හුස්මක් ඉහල ඇද්දා.
"විශ්වාස කරන්න ඩාලිං ඒක මම ඔයාගෙන් අහපු හොඳම එක."



ඒත් අන්තිමේ මගේ හීනෙ හැඩය ඇත්තටම වෙනස් වෙලා බව තේරුම් ගත්තු මාර්ක් බොහොම කලබල වුනා. ඔහු කෑගැහුවා. බැන්නා.  රෑ එළිවෙනකම් මාව තුරුළු කරගෙන පැයෙන් පැයට අලුත් තර්ක ගොඩනැගුවා. ආයෙමත් ඇස් වල කඳුලු පුරවගෙන මා දිහා බලන් උන්නා.



ඒ දීර්ඝම සතිය අවසානයේ හවස අපි දෙන්නා ආලින්දයට වෙලා කළුවර අපිව ගිලගන්නකම් උණු කෝපිවල කිමිදෙන්න තීරණය කලා. කෙලවරක් නැති පැහැදිලි කිරීම්, වාද විවාද සහ සිත් තැවුල් නිසා අපි දෙන්නාම සෑහෙන තරම් විඩාපත් වෙලයි උන්නෙ.



"මාර්ක්, මේ අහන්න. ඒක හිතන තරම් නරක දෙයක් නෙමෙයි." 
මං වෙනදාට වඩා පරෙස්සමට, හඬ නොනැගෙන්න කෝපි කෝප්පය හැඳි ගාමින් කිවුවා.



මාර්ක්ගේ ඇස් රතුපාට වෙලා තිබුනෙ. 
එයා බර හුස්මක් පිටකලා. 

"ඔයා හිතනවද මේක ලේසි දෙයක් කියලා? අනික ඔය කොඳු ඇට පෙලේ ඇදයත් එක්ක. එයාල ඔයාව කොන් කරාවි. තේරුම් ගන්න ඩාලිං.  මේක නෙමෙයි ඔයාට තාරකාවක් වෙන්න ගැලපෙන තැන. ඔයාට පායන්න තවත් අහසවල් ඕන තරම් තියෙනවා, ඔයාට නොපෙනුනාට."



"එකම එක ඉන්ටර්විව් එකක් මාර්ක්. එකම එක වතාවක්!" 

දෙවරක් නොහිතාම මං ඔහු ළඟ දණින් වැටුනා. ඔහුගේ බර දණහිසට හිස තියාගෙන මං දිගටම ඇවිටිලි කරන්න වුනා.



"හොඳයි එකම එක වතාවක්!"  මාර්ක් දැඩි හඬකින් අන්තිමේදි කියා හිටියා. 
"හෙට උදේ නවයට, මං ඔයාගෙ ෆොටෝ ෂූට් එක කරනවා. හරිනෙ?"



වාහනයෙන් බැහැගත්තු මම එහා මෙහා ඇවිද්දේ හිතේ නොසන්සුන්කම ටිකක් සමනය කරගන්න. මට සිගරැට්ටුවක් බොන්න ලොකු උවමනාවක් දැනුනා. ඒත් දෙවනි දුම් උගුරත් එක්කම මට මතක් උනේ එයාව. එයා මගේ ලෝකෙ. මගේ පණ. මං විසකුරු සතෙක් දැක්කා වගේ වහාම සිගරැට්ටුව නිවලා බින් එකට දැම්මා.



එක අතකට මගේ පළමු පියවර තියන්න උදව් වුනේ රිචඩ්ම තමයි. ඔහු මගේ පින්තූරවලට හිනාවෙලා ඒවා කාර්යාල බිම පුරාම විසුරුවා හැරියා. ඇත්තටම, මාර්ක්ට වැඩිපුරම කේන්ති යන්නේ තමන් ගත්ත ඡායාරූපවලට අපහාස කරද්දි බව මම දැනගත්තෙත් එදා.



මාර්ක් එතැන, ඒ මොහොතේ පටන් මට පුදුම තරම් උදව් කලා. රිචඩ් වැරදි බව පෙන්වන්න මටත් වඩා මාර්ක්ට වුවමනා වෙලා තිබුනා.



ඔව්. දැන් මගේ හීනෙ හැබෑ වෙලා. ඒ වෙනුවෙන් ගෙවන්න වුන මිල කොතරම් විශාල වුනත් අන්තිමේ මම තාරකාවක් වෙලා.  පළමු හමුවීමෙදි මගේ පින්තූර අහකට විසිකරපු රිචඩ්ගෙ කාර්යාල කාමරේ බිත්තිවල මගේ මැගසින් කවර් රාමු කරලා එල්වා තියෙන හැටි දකිනකොට හිතට දැනෙන්නේම අසීරු ජයග්‍රහණයක උණුහුමක්.



මම ගෙදරට ඇතුල්වෙනකොට මාර්ක් ආලින්දයට වෙලා ඇල්බමයක් පෙරලමින් උන්නා. මම ඔහුගේ ගෙල වටා දෑත් යවන ගමන් ඇල්බමයට එබුනා. අපේ මංගල උත්සවයේ පින්තූර. මම මාර්කේ නළල දෙපස හාද්දකින් පිරිමැද්දා.



“මං අලුත් වැඩේ බාරගන්න බැහැ කීවා.” මම සෝෆාවේ කෙලවරකට බර වුනා. 

“අවුරුද්දක් යනකම් මම විරාමයක් ගන්නයි හිතුවෙ.”



මාර්ක් තදින් ඇල්බමය වහලා මා දිහා බැලුවා.
“ඒ ගමන මොකද? මොකක් හරි ප්‍රශ්ණයක් උනා ද? කියන්න ළමයො! මොකද මගෙ මූණ දිහා අමුතු විදියට බලන්නෙ?”



මම මාර්ක්ගේ  සිහින් දිගු ඇඟිලි මගේ දෙ අත්ල තුල සඟවා ගත්තා. “ලොකුම ලොකු ආරංචියක් කියන්න තියෙනව ඔයාට.” මම හිස පැත්තකට ඇල කරන් ඔහු දිහා බැලුවා. 

“ඔයා, තාත්තා කෙනෙක් වෙන්නයි යන්නෙ!”



“උර්සුලා!” මාර්ක්ගේ ඇස් දෙක බැබලෙන්න පටන් ගත්තා. 

“දන්නවද! මම හීනෙකින්වත් හිතුවෙ නෑ ඔයාගෙ හිත මේ තරම් උණුහුම් කියලා. දන්නවද! ඔයා තමයි මේ ලෝකෙ ඉන්න ආදරණීයම කෙල්ල. අපි මේක සමරන්න ඕනෙ ළමයෝ… අපි මේක ඉහළින්ම සමරන්න ඕනෙ!”



අත්බෑගයේ තිබුන ජංගමය හඬ තලන්න ගත්තේ ඒ වෙලාවෙ. ‘රිචඩ්!’ මම ජංගමය අතට ගත්තේ මූණ පුලුටු කරගෙන.



“ඇයි?” මං කතාකලේ හිතේ තරහ ඔහුට ඒත්තු යන ස්වරයකින්.



“උර්සුලා, මේක ඔයාගෙ අවසාන තීරණේද?” රිචඩ් ආයෙමත් ඇහැවුවා. 
“මේ අහන්න. මම අඳුනන හොඳ ඩොක්ටර් කෙනෙක් ඉන්නවා. ඔයාට කිසිම අපහසුවක් වෙන්න මම ඉඩ තියන්නෙ නෑ. ඔයාට පහසු තැනක, ඔයාට පහසු දවසක.”



පිළිකුලත් කේන්තියත් නිසා ගෙල දෙපස ගිනියම් වේගෙන යනවා මට දැනුනා. 
“තමුසෙට මොළේ විකාරද මිනිහෝ? මේ මගේ පෞද්ගලික ජීවිතේ. මං අහන්නේ තමුසෙට කොහෙන් ආපු හයියක්ද ඒකට ඇඟිලි ගහන්න. තව එක වතාවක්, ඔව් එකම එක වතාවක් ඔය පාහර කතාව කිවුවොත් මම ඒ මොහොතෙම යනවා පොලීසි. අන්න ඒක මතක තියා ගන්නව!”



රිචඩ් එවැනි ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවෙන්න ඇති. ඔහු වරක් දෙවරක් උගුර පාදන හඬ ඇහුනා. මවාගත් ඉතා මෘදු කටහඬකින් ඔහු පරෙස්සමින් වචන ගලපන්නට වුනා.



“හොඳයි. එහෙනම් ඒක එහෙමයි. හෙට අපි පොඩි සාකච්ඡාවක් තියලා ඔය ගිවිසුම අවලංගු කරල දාමු. ඔයාට පුලුවනිනේ හෙට උදේ අටහමාර වෙනකොට මායා රෙසිඩෙන්සීස් එකේ විසි තුන්වැනි ෆ්ලෝ එකට එන්න. අපි එතනදි හමුවෙමු. වෙලාවට එතැනට එන්න, මැඩම්” ඔහු කතාව අවසන් කලේ මද උපහාසයක් තැවරුනු ස්වරයකින්. කොහොමත් ඒ රිචඩ්ගේ හැටි.



හවස කෙටි නින්දකට පස්සෙ මම අවදි වෙනකොට  මාර්ක් විශේෂ රෑ කෑමක් ගෙන්වලා තිබුනා. බැල්කනිය පුරාම ඇපල් සුවඳ හමන ඉටිපන්දම් දල්වලා. විශාල දේදුණු රෝස පොකුරක් කෑම මේසය මත තබා තිබුනා. ඇත්තටම මට මීට වැඩියෙන් කිසිම දෙයක් වුවමනා වුනේ නැහැ.



මම මුලින්ම කලේ ගෙදර තිවුනු සිගරැට් පැකට්ටු සියල්ලම කුණු බඳුනට විසි කරන එක. මාර්ක් කට කොණකින් සිනහවෙමින් ඒ දිහා බලා උන්නා. ඉන් පස්සේ අපි අවසාන ඉටිපන්දමත් දැල්වී අහවර  වෙනකල් බැල්කනියට වෙලා තරු දිහා බලාගෙන කතා කරමින් උන්නා. 







එලාම් ඔරලෝසුවේ හඬත් නෑහෙන තරම් ගැබුරු නින්දෙන් මම අවදි වුනේ සෑහෙන තරමක ප්‍රමාදයක් එක්ක. තවමත් නින්දේ උන්න මාර්ක්ව ඇහැරවන්නවත් පමා නොවී මම ඉක්මනින්ම ගෙදරින් පිටත් වුනේ මේ ගිවිසුම තද හිසරදයක් තරමටම බරට හිසත් හිතත් අඩපණ කරමින් තිබුන හින්දයි.


විදුලි සෝපානය තුලදී අපිළිවෙල හිසකේ පිළිවෙලක් කරගන්න අතරේ මගෙ හිතට දැනුනේ පුදුමාකාර සැහැල්ලුවක්. මම  විසිතුන්වැනි මහලට පා තැබුවේ පුලුවන් තරම් ඉක්මනින් මේ කරදරකාර අත්සනින් ගැලවිලා මගේ ලෝකෙට ඇතුල් වෙන්න හිතාගෙන.


කාර්යාලයේ දොර ළඟ මදක් නතර වුන මම දීර්ඝ හුස්මකින් පසු හිනා මුහුනක් පැළඳ ගත්තා. ඔව්. අර නරුමයා ඉස්සරහදි ව්‍යාජ හිනා මුහුණක් නැතුවම බැහැ.


“එන්න උර්සුලා. වාඩිවෙන්න.” රිචඩ් දොර වසා දමන අතරේ පැවසුවා. “මේ ජෙෆ්රි.”


මට වචනයක්වත් කියන්නට ඉඩක් නොතියා ජෙෆ්රි තමන්ගේ කතාව පටන් ගත්තා. “මේ අහන්න මැඩම්. ගිවිසුම අවලංගු කරන්න බැහැ, නමුත් අපිට ඔය කළලය අවලංගු කරන්න පුලුවන් පහසුවෙන්ම”


මාව පුටුවෙන් ඉවතට විසි වුනා. මිනිහෙකුට මේ තරම් අමනුස්ස කතා කියන්න පුලුවන්ද? මම වචනයක්වත් නොකියාම දොර දෙසට හැරුනේ ආපහු මේ මිනිස්සුන්ගේ මුහුණවත් නොබලන්න හිතාගෙන.


“ඔහෝ! ඔයා ඉක්මනින්ම යන්නද හදන්නෙ උර්සුලා? මේ බීම වීදුරුවක්වත් නොබී?” රිචඩ්ගේ මුහුණේ තිබුනේ විසුළු සිනහවක්. 

“ජෙෆ්රි හරි විහිළුකාරයා. ඔයා දන්නෙ නැද්ද ඒක! පුදුමයි!” රිචඩ් මහ හඬින් හිනා වුනා. ඒ සිනහව කාමරය තුල දෝංකාර දෙද්දි උස් වීදුරු කවුළුවෙන් පිටත බලාගෙන මම සීතල මිදි යුෂ බඳුන උගුරෙන් උගුර හිස් කරන්නට ගත්තා.



***************
  



වීදුරු කවුළුව තුලින් පෙරී එන හිරු එළියෙන් උරහිස් පිළිස්සෙනවා දැනෙනකොට මම ඇස් ඇරියා. තියුණු ඉඳිකටු තුඩු දහසකින් අනින්නා වාගේ වේදනාවක් යටි බඩ දෙසින් දැනෙනකොට මම අමාරුවෙන් වකුටු වුනා. හිස බමන්නට වුනත් මට වුවමනා වුනේ කොහොමහරි මෙතැනින් පලා යන්න. ඒත් මගේ සිරුර පිඟන් මැටියෙන් කල බෝනිකි සිරුරක් බවත්, එය දැන් කුඩා කැබලි දහසකට ටිකක් වැඩි ගණනකට බිඳී ගොස් ඇති බවත් මට සිහිනයෙන් මෙන් අවබෝධ වුනා. ඇද ගැහුනු සර්පයෙක් මෙන් සිහින් ලේ පාරක් මේස කෙලවරක සිට බිත්තිය දෙසට ගලා යමින් තිබුනා.


අන් සියලු හැඟීම් තුනී වෙලා යනකොට මට වුවමනා වුනේ මෙතැනින් පලා යන්න. ඒ අරමුණ ඝන දුමාරයක් වගේ අවකාශය පුරා පැතිරී යන්නට වුනා. පලා යාමේ අරමුණේ අන්තිම නූල් පටත් මගහැරේවියැයි බියෙන් මම දෑස තදින් පියාගත්තා.








~~~~@~~~~