Friday, March 27, 2015

හිතත් බරවෙයි ඇසුත් උතුරයි සතුටට





පෙරේදා ඔපීසියේ වැඩ ගොඩක් අස්සෙන් යාන්තම් ඔලුව උස්සනකොටම ෆේස්බුකියට ආ මැසේජයකි.


"බස්සි, හෙට ඔයා එනවා නේද?"


මල හත්තිලව්වට ගහපු කලාබරේ කිව්වාය. ඒ අපේ දිලා නගා ය. බස්සි ගත් කටටම ඇහැව්වේ "කොහේ ද? මොකද්ද?" කියලාය. "නෙළුම් යායට" කී විට තරු පන්ති පිටින් පෙනෙන්නට වූයේ බස්සිගේ අන්දමන්ද මතක ශක්තියේ මහිම ඇස් පනාපිට පසක් වුන නිසා ය.


කොහොමින් කොහොම හරි එකට විතර ඔපීසියෙන් පැන්න මං තුමිය බසු සොයා ආවේය. බසුව වහ වහා ඔපීසියෙන් එළියට ඇද යං සුදෝ නාරාහේන්පිට කියා ගූගල් මැපේ සරණ ගියා ය. ගූගලයා මල් වට්ටිය වගේ හැඩට ආසිරි හොස්පිටිතාලය අසල පොට් එකක් පෙන්නුවේය. ඉතිං බස්සි වැඩ්ඩා සේ බස්සාට පාර කියන්නට විය.


මලා ය. එතන ඇති මීඩියා මිනිස්ට්‍රියක් නැත. එවර බස්සාගේ බැනුම් වරුසා මධ්‍යයේ ඉවානයා ඇමතුවේ ය. ඌ කියූ මග සළකුණු වලින් බසු මැප් එකේ සටහන් වූයේ 'ලංකා හොස්පිටල්' සහ 'දකුණට හැරෙන්න' යන වචන විතරමය.


ලංකා හොස්පිටිතාලය ලඟින් දකුණට හරවා නැවත වරක් බස්සාගේ ප්‍රසංසා මැද ඉවානයා ඇමතූ විට 'දෙවැනි කලර් ලයිට් එක ගාවින්' කියනවා ඇසුනේය. ඒ ගමන ආපහු හරවාගෙන වැරදියට කලර් ලයිට් ගණන් කර යළිත් වැරදි පාරකින් හැරෙන්න පාර පෙන්නුවේ ඉතා අභිමානවත් ලෙසය.


ඒ වනවිට මග සළකුණු කීමෙන් හෙම්බත් වූ ඉවානයා පාර අයිනට එන්නට තීරණය කර තිබුනේය. යාන්තම් ආමි කෑම්ප් එකක් ඉදිරියේ පෙරළෙමින් සිටි ෆුල් ඩීසන්ට් ලුකින් ගෝලාකාර චේගුවේරා කෙනෙක් දුටු කෙනෙහි අපි යාන්තම් නිවැරදි තැනට පැමිණ ඇති බැව් පසක් විය.


ඒ අස්සේ අර මහේෂ් ශාමිනයා කෝල් කොරලාය. අන්න අච්චර ජංජාලයක පැටලී වල්මත්ව උන් අසරණ මම ෆෝන් ආන්ස්වර් නොකල බව කියලා පෝස්ටුවකුත් දාලා ය. අපි නම් ඔව්වාට සැලෙන්නේ නැතිය.


කොහොම හරි මීඩියා දේවාලෙ ඇතුලෙන් මාව හලලා බස්සා ආපහු ඔපීසි ගියේ මග දිගටත් මට ප්‍රසංසා කරමින්ම වෙන්න ඕනෑය.


කා පාර්ක් එක ගාවදිම දකින්න ලැබුනේ ලොකු හිනාවක් එක්ක ජම්බෝල හැඩැති මාතලන් අංකල්ය. ගෝලාකාර චේ සහ මාතලන් එක්ක ඇතුලට ගියාම අපේ සැට් එක දැකගැනීමට ලැබුනේය.


හරිම කඩිමුඩියේ දුව ඇවිදින අතරේම බොහොම සුහදව වචනයක් දෙකක් කියා යන්නට නැවතෙන අජිත් ධර්මකීර්ති (කොළඹ ගමයා) අංකල්, නන්නත්තාර වී බලන් ඉඳලා ඉක්මනින්ම අලුත් යාලුවො ගොඩක් සෙට් කරගත්තු ගණ අඳුර සහ හිත හීලෑ නෑ මල්ලිලා ඩබල, සුදීකයියා, වෙනී මාමා, හුරුබුහුටි ප්‍රා ජේ, ගිටාරය කරපින්නාගත් මනා, රන් පාට සාරියකින් සැරසුනු සුන්දර දිලා, බට්ටිච්චියෝ දෙන්නෙකුත් මල් සූටික්කියෙකුත් එක්ක ආපු දම් ගුණේ අයියා, හිනා උතුරන මනෝ, රන්දිල් අක්කා, නැටුමකට වගේ අමුතු ඇඳුමක් ඇඳන් උන්නු අටම් අයියා, කම්මල අංකල්. ඕනමැන්ටල්, චුට්ටං කසුට්ටා, පුංචි කලාහිත සහ නම් මගහැරුණු තවත් බොහෝ දෙනෙක් එතන සිටියෝ ය.!!!


පැත්තකින් බලන් ඉන්නේ අජිත් ධර්මා අංකල් ය.


හොරෙක්, මං පහරන්නෙක් ලියන හොඳම බ්ලොග් අඩවිය


මලක් වගේ හැඩ පුංචි දිලා



රවි අයියා නැති වුනාට සම්මානයේ පොටෝ ඇත.



කරුවල ජයසූරිය මාමා අපිට සම්මානත් දුන්නේය. තිබුනු දේශණ අතරින් නාලක ගුණවර්ධනගේ දේශණ විලාසයට බොහොම කැමති හිතුනේය. වේදිකා නාට්ටි, සිංදු හෙම තිබුනු අතර දිලා ලියූ නෙලුම් යාය තේමා ගීය ගායනා කලේ අපේ ගිටාර් මනා ය.


පස්ස හරවං ඉන්නෙ බස්සි කියන එකී ය.


මට අර අභිරූපනයා එක්කනම් ගේමක් තියෙනවාය. ඒකා දම්ගුණේගේ පොඩි උන් දෙන්නාට විහිලු කරනවාට සමෝසමේ මටත් විහිලු පාර්ට් දාන්නේ මගේ කොටභාවය නිසාවත්දැයි සැකයක්ද තියෙනවා ය.


කොහොමින් කොහොම හරි ඒ ගත වුනේ අපූරුම සැඳෑවක් ය. බ්ලොග් කරුවන්ට මේ තරම් ඉහළ ඇගයීමක් ලබාදීම ගැන නෙළුම් යාය සංවිධායක මඬුල්ලට බොහොම ස්තූතිවන්ත වෙනවාය.


බස්සි ඊයේ වැස්සේ ගෙදර ආවේ මෙන්න මේ කවි දෙක බුකියේ පල කරන ගමන් ය.



සිනහ මල් පිරි සුහද අත් දිගුවෙනකොට
"බස්සි, බස්සී" කියකියා අමතනකොට
උරහිසට ආදරෙන් පහරක් දෙනකොට
හිතේ සමනල් තටු නටනවා එතකොට


උඹව දුටු එක සතුටකියි පැවසෙනකොට
දෙකම්මුල් අග හාද්දක් තැවරෙනකොට
බරැති ඇගයුම් දෙඅත් මත රැඳවෙනකොට
හිතත් බරවෙයි ඇසුත් උතුරයි සතුටට


~~~~~~~~~~~~~~~





Monday, March 23, 2015

හයිකු උණ (Haiku mania)







පහුගිය කාලෙ බස්සිට හැදුනා උණක්. මේ කියන්නෙ අර උපන්දා ඉඳන් තියෙන මොළේ උණ ගැන හෙම නෙමෙයි. ඒ තරම් දරුණු නැති, හයිකු උණක්.


ඉතින් බස්සි කලේ හයිකු කාව්‍ය කලාව ගැන විස්තර හොයා බලපු එකයි. එතනදි බස්සිට තේරුනා අපි බොහොම දෙනෙක් 'මිනි-කවි' සහ 'හයිකු' කියන දෙක පටලවාගෙන ඉන්න බව. හයිකු වෙනුවෙන්ම ලියැවුනු බොහෝ ලිපි වලත්, සිංහලෙන් ලියැවුනු හයිකු කාව්‍යවලත් මේ පටලැවිල්ල දුටු නිසාම මම හිතුවා හයිකු ගැන පොඩි සටහනක් තියන්න.


හයිකු කවි ඉපදෙන්නේ ජපානයේදි. ඉසා කොබයාෂි, බෂෝ, බුසොන්, ෂිකි ප්‍රසිද්ධ ජපන් හයිකු කවීන් කිහිපදෙනෙක්. 



හයිකු රීති


හයිකු ලිවීමේ මූලික රීති කිහිපයක් තියෙනවා.


1. හයිකුවකට ඇතුලත් විය යුත්තේ අක්ෂර දහහතක් පමණයි.

2. මේ අක්ෂර 5/7/5 වශයෙන් තුන් පෙලකින් සමන්විතයි.

3. බොහෝ ජපන් හයිකු ගොඩනැගෙන්නේ එකිනෙක හා බැඳුනු වස්තූන් දෙකක් ම්ල් කරගෙන.

4. ජපන් හයිකුවක තවත් ලක්ෂනයක් තමයි කවියට අදාල සෘතුව නිරූපණය වීම.



5/7/5 රීතියට යන්නේ අක්ෂරද? මාත්‍රා ද? 


අපි සිංහලෙන් හයිකු ලියනකොට මත් බෙදීම ගැන ගැටළුවක් ඇතිවෙනවා. හයිකු ඉපදුනේ ජපානයේ. ජපන්, ඉංග්‍රීසි වගේ භාෂාවන්වල ස්වර බෙදීම් නැහැ. බැඳි අක්ෂර (පණකුරු + ගතකුරූ තියෙන්නේ අපේ වගේ බොහොම සුළු හෝඩි ප්‍රමාණයක විතරයි. මත් බෙදීම් අපිට එන්නෙ සිදතයි එළු සඳැස් ලකුණයි හරහා.


උදාහරණයකට ඉංග්‍රීසි හෝඩිය ගත්තොත් ඒකෙදි ස්වර වෙන්නේ A, E, I, O, U විතරයි. මේ නිසා මත් වලින් හයිකු ලියන්න බැහැ. මොකද ඒක ලංකාවේ හෝ ඉන්දියාවේ කාව්‍ය ක්‍රමයක් නොවන නිසා.


මේ නිසා හයිකු ලිවීමේදී ගුරු, ලඝු, ප්ලුත මාත්‍රා වෙනසක් නැතුව තනි අක්ෂරයක් ගනන් ගැනීම කල යුතු වෙනවා.



මේ තියෙන්නේ බස්සි ලියූ හයිකු කිහිපයක්.

________________

හදවතට
කටු අනින හැටි
සඳ එළිය
________________

තියුණු කටු
රෝස පෙතිවලට
නොරිද්දන
________________

පනින්නෝම
පරිණාම සටන
දිනන්නෝය
________________

වැහි පිණිති
තුංග තුරු හිස්
සසලවත්
________________

ඇස් දෙකට
දෙහි ඉසිනු හැකි
සිනහවක්
________________



අහා බස්සි හයිකු ගැනත් හයිකුවක් ලීවා නෙව. මේ තියෙන්නේ ඒක;


කවි අවිය
මත් දහහතක
සැඟව ගති









Thursday, March 19, 2015

ගැබ්බර බැළලි විමලාව




by Amy Giacomelli




ගැබ්බර බැළලි විමලාය
ඇක්සයිස් ලැසි ගමන් යන
කානු ගැට්ටේ සීතලට නිදියන
ජෝතිගේ ගීයකට
තාලෙට වලිග කොන ගස්සන


හාල්මැස්සෝ කෑ හැකිද හැමදාම?
කෙලවල්ලො නැද්දැයි විමසන
පලා මැල්ලුම් දැක නහය හකුලන
ඇස් පියාගෙන හාල්මැස්සන්ම ඇහිඳින


"ඉස්පිරිතාල වියදම් සැරය
නර්ස් බැළලිය තරය නපුරුය
අනේ කන් දිග දොස්තරා සීදේවිය
ෆ්ලැනල් රෙදි දැන් හරි හිඟය"
සුදු මහත බලු තෙම
ඕපාදූප ගෝනියම අහගෙන නිදන
කලාතුරකින් යාන්තම් කන් සොලවන


"විසිදාහකින් චීස් කෑවැකි
සස්ටජන් පිටි ටිකක් බිව්වැකි."
දිගට දිගටම කියන
"ඒ උනත් රජතුමා නැතිකොට
ලස්සයක් හම්බුනත් මොකටද?"
කම්මුලේ අත තියන
බළල් සුසුමක් හෙලන


"බල්ලන්ට තේරේයැ මේ දුක!"
නැට්ට ගස්සා බනින
මහත බලු තෙම එක ඇහැක් ඇර
මලා වාගේ නිදනු දැක දැක
හොස්ස උස්සා රවන


ගැබ්බර බැළලි විමලාය
හවස තේ එක්ක කන්නට
කුප්පමේනිය අහුලන





Wednesday, March 18, 2015

තාත්තා හැමතැනම ඉන්නවා








යන්නටම ගිහින් බව හොඳටෝම දැනෙනවා
හිත කෑලි කැඩී බිම වැටෙනවා
කොට්ටයක කමිසයක සුවඳ ඇහැ කෙවනවා
තවම ඔබ ඉන්න බව දන්නවා


සතියකට එක ගානෙ ගෙනා නවකතා පොත්
රාක්කෙන් එබී එබී බලනවා
සුදු නැපිය අන්දාපු මහත බෝනික්ක තව
පුස්තකාලේ මුරට ඉන්නවා


ගිහින් එන්නම් කියල කම්මුලක් අතගාපු
දිගු ඇඟිලි පහස තව දැනෙනවා
ගිය උපන්දිනේ මට දුන්නු සුදු ටී කමිසෙ
හත්දොහේ පිංකමට අඳිනවා


වතුර මල ළඟට නාගන්න එන බට්ටිච්චො
තාත්තා කෝ කියා අහනවා
ගියාමයි කිව්වාට නැහැනෙ මම රැවටුනේ
තාත්තා හැමතැනම ඉන්නවා


මාස දහ අටක පමණ කාලයක් පිළිකා රෝගී තත්වයකින් පෙළුන අපේ තාත්තා මේ මස 10 වැනිදා අභාවප්‍රාප්ත වුනා. බස්සිගේ දිගු නිහැඬියාවට හේතුව එයයි. ඒ අවස්ථාවට සහභාගි වුන සහ දුරකථන ඇමතුම් හා කෙටි පණිවුඩ මගින් ශෝකය ප්‍රකාශ කල බ්ලොග්/ෆේස්බුක් මිතුරන් හැමෝටම බොහොම ස්තූතියි!























Tuesday, March 3, 2015

දොස්තර කානේෂන් සහ අභ්‍යන්තර මල් ගහණ







හිසරදේ. යාන්තම් කරකැවිල්ලකුත් එක්ක. ඒක කරකැවිල්ලක්මත් නෙමෙයි. අභ්‍යන්තර පද්ධතිවල පොඩි සෙලවීමක් වගේ. ඇඳුම් අල්මාරිය ගාව ඉඳන් අයන් බෝඩ් එක ගාවට යන අතරේ ලා රෝස පාට බිත්ති, භූමිදර්ශන සහිත බිත්ති සැරසිලිත් එක්කම අංශක දෙකතුනක් එහාට මෙහාට පැද්දුනා.


රත් වෙච්ච අයන් එක ගවුම් කොලරයට තියනකොටම ආවෙ උඳුනක කරවෙන ඉඟුරු පාන් සුවඳක්. වෙන වෙලාවකනම් ඒ සුවඳ කටට කෙල උණන තරම් ප්‍රණීත වෙන්න ඉඩ තිබුනා. ඒත් හිසරදයත්, කරකැවිල්ලත් එක්ක මුහු උනාම ඒ සුවඳට පුලුවනි බඩ ඇතුලේ ලොකු පෙරලියක් කරන්න.


ඉතින් මම පිම්මේ දුවගෙන ගියේ නානකාමරයට.

“ඔවෑක්! ඕක්!”

සාමාන්‍යෙන් ඊළඟට එළඹෙන්නේ අප්පිරියාවෙන් නහය හකුළුවා ගන්නා වෙලාව. ඒත් මේ වෙලාවෙ නානකාමරය පුරාම හමා යන්නට වුනේ අපූරු මල් සුවඳක්. ඒ මල් සුවඳ තත්පර කාලක් ඇතුලත මුලු නානකාමරයම වහ ගත්තා. එයාර් ෆ්‍රෙශ්නර් එකේ මින්ට් සුවඳ වේගයෙන් තුනී වේගෙන යනකොට මම ඇස් ඇරලා සින්ක් එක දිහා බැලුවා.


හත් දෙයියනේ! තද කහ තැඹිලි පාට දාස්පෙතියා මලක්!


ඇත්තටම මම දාස්පෙතියා මල්වලට ආස නෑ. කොටින්ම කිව්වොත් මට පේන්න බැරි තරමයි. මම කොහොමත් මල් වැවිල්ලට මනාපයක් පෙන්නුවෙ නෑ කොයියම්ම කාලෙකවත්. ඉතින් මම කලේ දාස්පෙතියා මලේ පෙති කෙලවරක් ඇඟිලි දෙකෙන් අල්ලලා කොමඩ් එකට දාලා ෆ්ලෂ් කරපු එක.


කහ තැඹිලි රවුමක් කැරකි කැරකි කොමඩ් එක ඇතුලට සර්පිලාකාර ගමනක යෙදෙන හැටි බලන් උන්නු මම දිග හුස්මක් පහලට හෙලුවා. හුස්මත් එක්ක නහයෙන් එළියට පැනපු තැඹිලි පාට රේණු අංශු සුදු ටයිල් කැට උඩ රටාවක් ඇන්දා.


මේක කොහොමත්ම ඔෆිස් යන්න සුදුසු තත්වයක් නෙමෙයි. ඒත් මල් වමනේ යාම? සමහරවිට බොස් කියාවි එයාගෙ ගෙදරට ඇවිත් මල් ටිකක් පැල කරල දෙන්න කියල. නොදන්වා නිවාඩු ගන්න එක කරන්න පුලුවන් දේකුත් නෙමෙයි. ලියමනක් යවන එක කෝල් කරනවට වඩා පහසුයි.


මං මේසෙ උඩ තිවුනු පබළු පෑන අරන් කුරුමිණි අකුරෙන් ලිව්වා “අසනීපයි, කරුණාකර නිවාඩු ලබා දෙන්න!” කියල. ඔව්, මං විස්මයාර්ථ ලකුණක් තිබ්බා. මොකද මේක සාමාන්‍ය තත්වයක් නෙමෙයි නෙ.  ලියුම අරන් ගිහින් බැල්කනියෙ වහල උන්නු අටු බකමූණගෙ දකුණු අණ්ඩෙ ගෝණි නූලකින් ගැටගැහැව්වා. වම් කකුලෙ ගැටගහන්නෙ පාර්සල් තැපැල් විතරයි. කොහොමත් උගේ වම් කකුල යකඩ වගේ හයියයි.


ඉන් පස්සෙ මම ජනෙල් කවුළු එකක් නෑර ඇරලා දැම්ම. මේ වගේ අවස්ථාවක හොඳම බෙහෙත වෙන්නෙ වාතාශ්‍රය. හොඳ පිරිසිදු වාතාශ්‍රය ආඝ්‍රාණය කරපු පැය කිහිපයකින් පස්සෙ මේ ලෙඩේ සලකුණක්වත් නොතියා අතුරුදහන් වෙන්න පුලුවන්.


මම මෙට්ටෙ උඩ බද්ධ පර්යංකයෙන් වාඩිවෙලා හොඳ ගැඹුරට හුස්ම ඉහළ පහළ යවන්න පටන් ගත්තා. මද උණුහුමක් එක්ක කහපාට ඉර එළිය මගේ ඉහට උඩින් වැටිලා තිවුනා. කණ්නාඩි මේසයෙ බිත්තර හැඩේ වීදුරුව ඇතුලෙන් මට මගේ ඡායාව පේනව.


මානෙල් පාට අත්තටුවල කළු පාට ඉරි වැටුනු ලොකු සමනල්ලු තුන්දෙනෙක් ජනේලෙන් කාමරේට රිංගගත්තෙ ඔය වෙලාවෙයි. උන්ගේ බෙලි දිගයි. හීනියි. සපත්තු පොලිෂ් දාලා මැදලා වගේ ඉර අවුව වැටිලා කළු පාට දිලිසෙනවා. ඔලුව වටේ කැරකි කැරකි උන්නු සමනල්ලු තුන්දෙනා පෝලිමක් හැදුනෙ හිතාගන්න බැරි තරම් ඉක්මනින්. ඉන් පස්සෙ උන් එකා පස්සෙ එකා සීරිවට මගේ දකුණු කනෙන් ඇතුලට රිංගුවා!






සමනල්ලු පියෑඹුවේ පහළට. නහය යටින් උන් තටු ගහද්දි ආපු කිතියට ලොකු කිඹුහුමක් එක්ක මල් පෙති දාහතක් එලියට පැන්නා. මේක තවදුරටත් බලාගෙන ඉන්න සුදුසු තත්වයක් නෙමෙයි. මම වහාම ඩිස්පැන්සරියට කෝල් කරලා ගුප්ත විද්‍යා ශාකවේදිනී දොස්තර බාබන්ඩේසි කානේෂන්ව මුණගැහෙන්න වෙලාවක් වෙන්කරගත්තා.


හෙල්මට් දාගෙන කාර් එකේ යන මනුස්සයෙක් දිහා හැමෝම තම තමන්ගේ පියාසැරිය නවත්තලා හොට දික් කරන් බලා ඉඳිල්ල බලාපොරොත්තු වෙන්න පුලුවන් දෙයක්. ඒ නිසා මම ඒක සත පහකටවත් ගනන් ගත්තෙ නෑ. ඒත් ලොකුම ප්‍රශ්ණය උනේ ඩිස්පැන්සරියට ඇතුලුවෙලා හෙල්මට් එක ගලවාපු ගමන් කොහේදෝ යන මී මැස්සෙක් නහය ඇතුලට රිංගා ගත්තු එක. උගේ කුඩා කවාකාර තටුවල කම්පනයත් එක්ක නහයේ කාටිලේජ අනුනාද වෙන්න පටන් ගන්නකොට මම උන්නේ තනිකකුලෙන් උඩ පැන පැන.


දොස්තර කානේෂන් කණ්නාඩි කුට්ටමට උඩින් මගේ දිහා බැලුවා.
“හෝ හෝ හෝ….! අභ්‍යන්තර මල් ගහණයක්?”

වෙද නළාව දකුණු පෙණහැල්ලට තියල තද කල ගමන් දොස්තරාගෙ ඇස් දෙක නළල දක්වා ඉහළ ගියා. 


“මෙන්න මේ ටෝච් එක අල්ලන්න ළමයා!” ළඟ උන්නු නර්ස් යුනිෆොර්ම් ඇඳපු චින්චැට් කිරිල්ලියෙක්ට කියපු දොස්තරා සීරුවට කට ඇතුලට රිංගලා අන්නසෝත්‍රය දිගේ පහළට ඇවිදගෙන යන හැටි මට දැනුනා.


ටිකකින් ඔහු එළියට ආවෙ පාට පාට සීනියාස් මල් පොකුරක් කබා සාක්කුවෙ දමාගෙන. මල් පෙති විතරක් නෙමෙයි සමනල තටු කැබලිත්, විවිධ හැඩයේ තෘණ කොටසුත් කබායේ තැනින් තැන ඇලවිලා තිබුනා. දොස්තරා මේසෙ උඩ තිවුනු තෙත ටිෂූ කොලයකින් කණ්නාඩිය පිහදාන ගමන් මගෙ දිහා බලමින් ඇස් කැරකෙවුවා.


“මේක ලේසි පාසු ලෙඩක් නෙමේ. පෙණහලු පුරාම මල් පිපිලා!” දොස්තරා ඇහි බැම දෙක ඉහළ එසෙවුවා. “හිතනවා වැඩියි. දවල් හීන! ඒක තමයි මූලිකම හේතුව.”

“මේකට අපිට වල්නාශක මාත්‍රාවක් නිර්දේශ කරන්න පුලුවනි. නැත්නම් ඔයාට පුලුවන් හැමදාම ඔය මල් ගාල සුද්ද කර කර කොළවල ඔතලා පාරෙ යන මිනිස්සුන්ට බෙදා දෙන්න.”

නර්ස් කිරිල්ලිය පවුම් එකසිය දොළහක බිලක් මගෙ අතේ තිබ්බා. 






මල් පොකුරු බෙදා දීම ලේසි පාසු වැඩක් වුනේ නැහැ. “පිස්සෙක්!” කියලා තමයි බහුතරයක් දෙනා කිව්වෙ. බොහොම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් මල් අතට අරන් හැඩරුව වර්ණනා කලා. ඒ අයගෙනුත් සමහරු කියලා තිවුනේ “මල් බෙදන්නෝ එක්කෝ මත් කුඩු ගන්න අය නැත්නම් විකෘති මානසික තත්ව ඇති අය” කියලයි.


ඊට වඩා බලන්න වටින්නේ මල් බෙදන්නන් අතර තිවුනු තරඟේ! හොරකම, කකුල් පූට්ටු, මඩ ගැසීම් අඩුවක් නැතුව තිබුනා. උහුලගන්නම බැරි වුනේ මේ දේවල් ගැන හාංකවිසියක් නැතුව තව තවත් මල් පිපෙමින් හුස්ම හිරකරවන එක.


ඉතින් මම තීරණය කලා ග්ලයිපොසේට් බෝතලයක් බීලා මල් යාය එක පාරම මරා දාන්න. දොස්තරා නියම කරන ශේෂ මාත්‍රා මට පත්තියම් නොවන බව ස්ථීරයි. කොහොමත් හිත ඇතුලේ මල් පිපෙන එක සාමාන්‍ය තත්වයක් නෙමෙයි.



~ මොලේ Crack උනු piKsu බස්සියෙක් ~




Monday, March 2, 2015

කොයි තරම් අපූරුද? කවි හුළඟෙ පාවෙන එක







කොයි තරම් අපූරුද?
කවි හුළඟෙ පාවෙන එක


පුස්තකාලෙක ගාම්භීරෙට ඉන්න එක
ඇණයකින් ලී මිටක එල්ලී
පාර අද්දර නටන එක

කාරෙකක, බස් එකක, 
නැත්නම් පයින් හරි ගෙදරකට යන එක
ආදරෙත් එක්කම ඔතපු බත් මුලක
උණුහුමක් වැදී තෙත්  වෙන එක
කෑම මේසෙදි ඇස් කොනක දැවටෙන එක


යාන්තම් රිදුනට
කොයිතරම්නම් මිහිරිද
බැදුම් සුවඳක් කැවෙන එක

ඔන්න පොඩ්ඩක් රිදෙනවා ඇති
හාල්මැස්සෝ, කට්ට කරවල
ඔතනකොට
ඒ වුනත් පාඩුවක් නෑ නෙව
හාල්මැස්සෙක් උනත්
මුහුද පතුලේ මුතු වැවෙන හැටි කියනකොට


කොයිතරම් සතුටු ද
අලුත් කිරිකැටියෙක් බලන්නට
කෑම කවරෙක එතෙන එක
අකුරු උඩපැන නටනවා ඇති එතකොට


කොයි තරම් අපූරුද
දෙනෙත් පහසක් වැදෙන එක
සිහින් අතැඟිලි අකුරු මත දැවටෙන එක
පොතක පිටු මැද රහසේම සැඟවෙන එක


කොයි තරම් අපූරුද?
කවි හුළඟෙ පාවෙන එක!